මරණයට අභියෝග කළ මිත්තනියගේ වීර චාරිකාව

තමාට මාරාන්තික පිළිකාවක් වැළඳී ඇති බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබීමත් සමග අනූ වියැති නෝමා බවර්ශ්මිද් වෙතින් පළ වූයේ තරමක වෙනස් ප්‍රතිචාරයක්.

ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය සිය දිවියේ අවසන් දින කීපය ගත කිරීම සඳහා තෝරා ගත්තේ වෙනත් මගක්. ජීවිතයේ මෙතෙක් නොලද අත්දැකීමක්.

රෝහල් ඇඳක් මත වැතිර සිටිනවා වෙනුවට මෝටර් සවාරියක් ආරම්භ කළ ඇය අන්තර්ජාල තාරකාවක් බවට පත් වන්නේ නිරායාසයෙන්.

ඇයගේ සංචාර හා තොරතුරු දැක්වෙන ෆේස්බුක් පිටුවේ පමණක් සාමාජිකයන් හාරලක්ෂ හතළිස් දහසකි.

බවර්ශ්මිද් මහත්මියගේ වික්‍රමාන්විත මාර්ග සවාරියට ඇයගේ පුතු ටිම් සහ ඔහුගේ බිරිඳ රැමී ද එක් වෙති.

පසුගිය සතියේ සිය දිවි සැරිය නිම වන තෙක් පුරා වසරක් ඇය සිය පවුලේ සගයන් හා චාරිකාවේ යෙදෙන්නීය.

ඇයගේ පුතුගේ කැරවෑන් රථය ප්‍රාන්ත තිස් හතරක් ඔස්සේ ගමන් කළ දුර සැතපුම් දහතුන් දහසකි.

බවර්ශ්මිද් මහත්මියගේ වෛද්‍යවරුන් විසින් ඇයට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු වික්‍රමාන්විත සවාරිය ආරම්භ වන්නේ 2015 වසරේ ජුලි මාසයේදී.

ඒ ඇයගේ ස්වාමි පුරුෂයා වූ ලියෝ මිය ගොස් දෙදිනකට පසුවයි.

සයිබර් අවකාශයෙන් ඔබ්බට ගොස් සිය ගම්දනව්වල පැවැත්වෙන සතුටු සමාචි සහ ක්‍රීඩා තරග වැනි පොදු උත්සව සඳහා බවර්ශ්මිද් මහත්මියට ආරාධනා කිරීමට තරම් ඇයගේ ෆේස්බුක් රසිකයෝ කාරුණික වෙති.

රාත්‍රි භෝජනයට එක් වන ලෙස ඇතමෙක් බවර්ශ්මිද් මහත්මියට ආරාධනා කරයි.

වොෂින්ටනය, දකුණු කරොලිනාව, මැසචුසෙට් ඇතුළු ප්‍රාන්තවල පිහිටි වනෝද්‍යාන, කඳු හෙල් හරහා ගමන් ගන්නා ඇය වරෙක ජෝර්ජියාවේ පිහිටි උමං ආශ්‍රිත රන් ආකාරයක් බැලීමට යන්නීය. ශාන්ත පැට්‍රික් දින හිල්ටන් හෙඩ් දූපතේ සංවිධානය කෙරුණු පා ගමනට එක් වන්නීය.

ෆ්ලොරිඩාවේදී බැලූනයක නැගී ගුවනේ අසිරිය විඳින්නීය.

ලද පමණින් සතුටු වන නිහතමානී ගති ඇත්තියක ලෙසයි බවර්ශ්මිද් මහත්මියගේ ලේළිය සිය නැන්දණිය හඳුන්වන්නේ.

''නමුත් තමන්ගේ ජීවිතයට වැදගත් මොකක්ද කියන දේ පිළිබඳ ඇයට ඉතාමත් පැහැදිලි අදහසක් තිබුනා,''

''ඇය ජීවිතේ අවසන් වසර ඉතා සතුටින් ගත කළා. ඇය අවධානයට ලක් නොවුණු සරල කාන්තාවක්,''

''මේ කතාවේ තිබෙන ලස්සනත් එයයි. ඇය, ඇය ලෙසින්ම ජීවත් වුනා,'' බවර්ශ්මිද් මහත්මියගේ ලේළිය පවසන්නීය.