ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සැම්සුන් 'නෝට් සෙවන්' නැවත වෙළඳපොළට නිකුත් වීමේ පමාවක්
කාර්මික දෝෂ සහිත බැටරි හේතුවෙන් වෙළඳපොලෙන් ඉවත් කර ගනු ලැබූ සැම්සුන් නව ජංගම දුරකථනය නැවත වෙළඳපොළට නිකුත් කිරීමට පෙර දෝෂ සහිත උපාංග නැවත සමාගම වෙත ගෙන්වා ගැනීමට තවත් කාලය අවශ්‍ය බව සැම්සුන් සමාගම පවසයි.
ලොව පුරා පාරිභෝගිකයන් විසින් මිලට ගනු ලැබූ බැටරි ගිනියම් වී පුපුරා යාමේ දෝෂ සහිත නව සැම්සුන් ජංගම දුරකථන ලක්ෂ විසිපහකට අධික ප්‍රමාණයක් නැවතත් සමාගම වෙත ගෙන්වා ගැනීමට තාක්ෂණික දැවැන්තයෙකු වන සැම්සුන් සමාගමට සිදු වී තිබේ.
පාරිභෝගිකයන් විසින් මිලට ගනු ලැබූ නව සැම්සුන් දුරකථන විශාල ප්‍රමාණයක බැටරි ගිනියම් වී දුරකථනය ගිනි ගත් බවට පැමිණිලි ලැබී ඇති බවයි දකුණු කොරියානු සමාගම පවසන්නේ.
සැම්සුන් සමාගම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දෝෂ සහිත උපාංග වෙළඳපොලෙන් ඉවත් කර ගැනීමෙන් පසු නිවැරදි කරන ලද 'නෝට් සෙවන්' දුරකථන සැප්තැම්බර් මස 28 වෙනිදා නැවත වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබුණත් දැන් පවතින තත්වයට අනුව ඔක්තෝම්බර් පළමු වෙනිදා දක්වා නිකුතුව පමා කිරීමට පියවර ගැනීමට සිදු වී ඇති බවයි.
නව දුරකථන ලබා දෙන තුරු දෝෂ සහිත උපාංග මිලට ගත් පාරිභෝගිකයන්ට එම දුරකථන භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙසයි සමාගම උපදෙස් ලබා දී තිබෙන්නේ.
ඊට අමතරව ලොව පුරා බොහෝ ගුවන් සමාගම් විසින් සිය මගීන්ට සැම්සුන් 'නෝට් සෙවන්' ජංගම දුරකථනය සිය ගුවන් යානා තුළට ගෙන ඒම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.