ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙමළ සිරකරුවන් සිව් වන දිනටත් උපවාසයේ
තමන්ට එරෙහිව අපරාධ චෝදනා තිබේ නම් නඩු පවරා අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් කරන මෙන් අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරත වී සිටින දමිළ සිරකරුවෝ ඉල්ලා සිටිති.
ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින එල්ටීටීඊ සැකකරුවන් විසි දෙනෙක් සිව් වන දිනටත් එලෙස උපවාසයේ යෙදී සිටිති.
තමන්ට එරෙහිව නඩු පවරා නොමැති බව පවසන උපවාසකරුවන් ඒ හේතුවෙන් සිය තරුණ ජීවිත බන්ධනාගාරයේ ගත කිරීමට සිදු වී ඇති බව පවසති.
උපවාසයේ නිරත ව සිටින සිරකරුවන්ගේ කීප දෙනෙකු, ලබන සඳුදා කොළඹ හා යාපනය අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිත බවයි බන්ධනාගාර බලධාරීන් පවසන්නේ.
උපවාසය ආරම්භ කොට දින හතරක් ගත වී ඇතත් සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
"මෙම සැකකරුවන් තමන්ට එරෙහි තිබෙන නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමින් දින හතරක් පුරා දැනට උපවාසයේ නිරතව සිටිනවා. මොවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳවත් අපි ඉතා විමසිල්ලෙන් සිටිනවා. කෙසේ නමුත් උපවාසයේ නිරත සිරකරුවන් මේ වනතුරු සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ."
ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ අදාළ බලධාරීන්ට සහ ආයතනවලට දැනුම දී තිබෙන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් කියා සිටියේය.