සිරිකොත ඉදිරිපිට යුද පිටියක්
එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන ‘සිරිකොත’මන්දිරය ඉදිරිපිට අද (24) ප්‍රතිවිරුද්ධ දෙපාර්ශ්වයක් අතර සිදු වූ ගැටුමින් තුවාල ලද සංඛ්‍යාව අඩු තරමින් දහ දෙනකුට අධික බව වාර්තා වෙයි.
ගැටුම ආරම්භ වී තිබෙන්නේ එක්සත් ජනතා සන්ධානයේ ආධාර කරුවන් කණ්ඩායමක් ‘සිරිකොත’ ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටියදී.
ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් පොලු මුගුරු සහ ගල් මුල් ආදියෙන් පහර එල්ල කර ගත් බවයි එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන් පවසන්නේ.
විරෝධතා ව්‍යාපාරය කැඳවනු ලැබ තිබුණේ 'ජාතික සංවිධාන එකමුතුව' නම් සංවිධානයක් නමින් බවයි පැවසෙන්නේ.
ජාතික සංවිධාන එකමුතුව ‘Federation of National Organizers’ (FNO)’ විමල් වීරවංශ ඇමතිවරයාගේ මෙහෙයුමෙන් සංවිධානය කෙරුණ ව්‍යාපාරයක් වන අතර එහි ආධාරකරුවන් 125 ක් පමණ සිරිකොත ඉදිරිපිට රැස් ව එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් පාඨ කියමින් සිටියදීයි දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදු වී අනතුරුව ගැටුම ආරම්භ වී තිබෙන්නේ.
ගැටුමේ දී සිරිකොත මන්දිරය ඉදිරිපස බුදු පිළිමයට ද හානි සිදු කොට ඇත.
සිරිකොතට පිවිසෙන සියලු මාර්ග වසා පොලිස් කැරලි මර්දන බළඇණි කැඳ වූ බව පොලිසිය පවසයි.
තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකයේ භටයන් ද යොදවා තිබිණි.
විමල් වීරවංශ ඇමති වරයාගේ 'ජාතික නිදහස් පෙරමුණේ' ආධාරකරුවන් කීප දෙනකුද තුවාලකරුවන් අතර සිටින බවයි අලුත් වාර්තා මගින් පැවසෙන්නේ.