ඇසළ පෙරහැර ඇරඹුමට කප වැඩම කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර

ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙස දෙස් විදෙස් ජනතාවගේ ගෞවරාදරයට පාත්‍රවූ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූලව කප වැඩම කරවීම දළ ඇතුන් තිදෙනකු මතින් අද (02 වෙනිදා) සිදු කෙරුණි.

මෙලෙස පුරාණ චාරිත්ත්‍රානුකූලව අලුත් නුවර දේවාලයේ සිට කිලෝමීටර විසිහයක දුරක් කප ඇතෙකු මතින් පෙරහැරෙන් වැඩම කරනු ලැබුවේ වසර සීයකට පමණ පසු බවයි මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්ත පවසන්නේ.

ශ්‍රී දළදා මාලිගාවේ බුරුමරාජා, ඒක දන්තයා සහ සිංහ රාජා යන දළ ඇතුන් මතින් කප අලුත් නුවර සිට හිඟුල, ගනේතැන්න, පහළ කඩුගන්නාව, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය ඔස්සේ මහනුවරට වැඩම කරනු ලැබුවේ උඩරට වෙස්නැටුම්ද ඇතුළත් දර්ශනීය පෙරහැරකිනි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාළයන්හි පෙරවරු 6.24 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාළ අභ්‍යන්තරයේ පෙරහැර පැවැත්වෙයි.

දේවාළ අභ්‍යන්තර පෙරහැර දින පහක් පැවැත්වීමෙන් පසු ප්‍රථම කුඹල් පෙරහැර අගෝස්තු මස 08 වෙනි දින සිට 12 වෙනිදා දක්වා වීදී සංචාරය කරයි.

රන්දෝලි පෙරහැර 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පැවැත්වෙන අතර දවල් පෙරහැර 18 වෙනි දින වීදී සංචාරය කිරීමෙන් පසු මෙවර මහනුවර ඇසළ මංගල්‍යය නිමාවට පත් වෙයි.

ඡායාරූප සහ වාර්තාව: ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න