ඔබේ ජීවිතය එකතැන සිර වී ඇති බවක් දැනෙනවා ද? ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට ඔබට උපකාරී වන සරල ක්‍රම කිහිපයක්

    • Author, වෛද්‍ය ෆටූමාටා ජට්ටා
    • Role, සායනික මනෝ විද්‍යාඥ
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඇතැම් විට අප නොවටින බවටත්, වැඩකට නැති බවටත්, අපි අලුතින් යමක් උත්සහ කිරීමට යාමෙන් අපි අපිව ම මෝඩයෙකු බවට පත් කරගෙන ඇති බවටත් සිතමින් අප; අපි ගැන ම ඕනෑවට වඩා ස්වයං විවේචනාත්මක වන අවස්ථා එළඹේ. එය අතිශය සාමාන්‍ය මිනිස් ස්වභාවයකි.

නමුත්, අප ඒ විවේචනාත්මක හඬට මුළුමනින් ම ඇහුම්කන් දුනහොත් අපට අපගේ ජීවිතය සම්බන්ධයෙන් තිබිය හැකි තෘප්තිමත් බව අඩු විය හැකිය. ඒ නිසා ම අපි අවදානම්වලට මුහුණදීම නවතා දමා, වටිනා අවස්ථාවන් මඟ හැර ගනිමින් ජීවිතය තුළ සිරවී ජීවිතය අසතුටින් ගත කරන බවක් අත්විදිය හැකිය.

නමුත් ජීවිතය එසේ විය යුතු නැත. ඒ නිසා ඒ සඳහා උපකාරයක් ලෙස මම සායනික විද්‍යාඥයෙකු ලෙස සේවය කළ අවුරුදු නවයක කාලය තුළ සිය ගණනක් සේවාදායකයින්ට උපකාර කිරීමට භාවිතා කර ඇති මගේ ප්‍රියතම මනෝවිද්‍යා පාඩම් වලින් එකක් ඔබ හා මෙහි බෙදා ගැනීමට සුදානම් ය.

එය ඇත්තට ම මටත් ප්‍රයෝජනවත් වූ ඉතා ම සරල ක්‍රමයක්. අපි එය මෙහෙම පැහැදිලි කරගනිමු.

'ඔබ බස් එකක් කියලා' හිතන්න

පළමුව ඔබ වාහනය සහ මගීන් යන දෙපාර්ශවයම සහිත බස් රථයක් යැයි සිතමු. බස් රථය අපගේ භෞතික ශරීරය සහ මනස නිරුපණය කරන බව සිතන්න. අපගේ සිතුවිලි, හැඟීම්, සංවේදනයන් සහ මතකයන් මගීන්ගෙන් නිරුපණය වේ.

ඇතැම් මගීන් කාරුණික සහ උපකාරී විය හැකි අතර අලුත් දේවල් අත් හදා බැලීමට හෝ අපේ ජීවිත නගා සිටුවීමට අපව දිරිමත් කළ හැකිය .කෙසේ වෙතත් ඇතැමෙක් අධික ලෙස රළු හෝ හානිකර අය විය හැකිය.

උදාහරණයක් ලෙස, මගේ බොහෝ සේවාදායකයින් තමන් ප්‍රසිද්ධියේ කතා කිරීම "මම මෝඩයෙකු වගේ පෙනෙන්නට පුලුවන්, ඒක නිසා මම නින්දාවට හා ප්‍රතික්ෂේප වීමට ලක්වෙන්න පුලුවන්" වැනි සිතුවිලි නිසා ඇතිවූ කනස්සල්ල හා බිය හේතුවෙන් තමන්ට හමුවෙන අවස්ථා ප්‍රතික්ෂේප කොට තිබේ. මට නම්, එවැනි සිතුවිලි සහ හැඟීම් බොහෝවිට පැමිණෙන්නේ මගේ ප්‍රේම සබඳතාවලදීය.

එම හැඟීම සමඟ කටයුතු කිරීමට නම් අප අපගේ ඍණාත්මක මගීන් බස් රථයෙන් පිටතට ඇද දැමීමට උත්සහ කළ යුතුය. (උදා, මම බය වෙන්න අවශ්‍ය නැහැ, ඒක මාව දුර්වල කරනවා). එසේ නොමැති නම් අපගේ රැකියාව, මත්ද්‍රව්‍ය, මත්පැන් හෝ දිගු වේලාවක් අරමුණකින් තොරව අපගේ දුරකථනය ස්ක්‍රෝල් කරමින් අප අපගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ ගන්නවා විය හැකිය.

ඇතැම් වේලාවට අප අපට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා අපවම කේවල් කිරීමට පෙළඹේ. (''මම පාටියකට හෝ මිටීමකට යනවා, ඒත් මම කා එක්කවත් කතා කරන්නේ නැහැ'', මම රැකියාවකට ඉල්ලුම් කරනවා, නමුත් ඒක මට ඇත්තටම ඕනි දේ නෙවෙයි''), එමගින් අපට අතෘප්තිමත් බවක් දැනුන ද එය අපට සුවපහසු බවක් හෝ අප සහ හුරුපුරුදු තැනක රඳවා තැබීමට හේතු වේ.

එය වෙනත් වචනවලින් පවසන්නේ නම් අපට පිළිගත නොහැකි යැයි හැඟෙන අපගේ කොටස් නොසලකා හැරීමට හෝ ඉවත් කිරීමට උත්සාහ කිරීමෙන් අපි වැළකී සිටිමට උත්සාහ ගැනීමයි.

රියදුරු අසුනට ගොඩවීම

ගැටලුව වන්නේ අපි යන සෑම තැනකට ම අප අපිවම රැගෙන යාමයි. මගේ සේවාදායකයින් බොහෝ දෙනෙක් එහෙයින් මා වෙත පැමිණෙන විට වෙහෙසට පත්ව සිටින අතර ඔවුන් බොහෝ විට මානසික අවපීඩනයෙන් හා කාංසාවෙන් පසුවේ. ඔවුන් දැඩි ලෙස වෙහෙස වී සිටිය ද, ඔවුන් සැබැවින්ම සිදු කර ඇත්තේ තමන්ටම එරෙහිව සටන් කිරීමයි.

අප කවුරුන්ද යන්න දැන ගැනීමට අපගේ සීමිත ශක්තිය වැය කරනවා වෙනුවට, අපවම දයාවෙන් යුතුව පිළිගැනීමට හා අපටම උදව් කර ගැනීමට ඉගෙන ගැනීම වඩාත් සුදුසුය. අපි මනුෂ්‍යයන් වන අතර අපේ මගීන් එනම් ධනාත්මක මෙන්ම සෘණාත්මක සිතුවිලි නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටිනු ඇත.

සුබවාදී ආරංචිය නම් අපට එය රැගෙන යා යුතු ස්ථානයට අපගේ බස් රථය ධාවනය කිරීමට අපට ඉගෙන ගත හැකි වීමයි. වඩා හොඳ ජීවිතයක් සඳහා ඔබ ඔබේම බස් රථයේ රියදුරු අසුනට යා යුතුය. ඔබේ ගමනට මඟ පෙන්වන්න, එවිට ඔබේ මගීන්ට ඔබ පසුපස පැමිණීම හැර වෙනත් විකල්පයක් නැත.

ඉතිං ඔබ එය සිදු කරන්නේ කෙසේද? ඒ සඳහා උපාකාර වන දේ පියවරෙන් පියවර මෙහි දැක්වේ.

1) ඔබේ මගීන්ව පිළිගන්න

ඇතැම් අවස්ථාවලදී හැඟීම් අපව යටපත් කරන තරම් ප්‍රබල යැයි දැනුණද, ඒවා සාමාන්‍යයෙන් පවතින්නේ මිනිත්තු කිහිපයක් පමණි. ඒවා උපරිම මට්ටමකට පැමිණ, පසුව ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වේ. ප්‍රසිද්ධියේ කතා කිරීම හෝ පළමු වරට ඔබේ ආදරය හමුවීමට යාම වැනි ක්‍රියාකාරකමක් මගින් ඔබේ හැඟීම් උද්දීපනය වේ නම් එයම නැවත වරක් සිදු කරන විට, එම බිය මතු වන ප්‍රමාණය ටිකෙන් ටික අඩු වේ. අවසානයේදී ඔබට ඒ ගැන කිසිදු බියක් හෝ නොසන්සුන්තාවක් නොදැනෙන තත්ත්වයකට පත් විය හැකිය.

පුද්ගලිකව මට මගේ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා මගේ අවශ්‍යතා අන් අයට පැහැදිලි කිරීම හෙවත් සීමා මායිම් පැනවීම; පෙරදී ඉතා බියජනක දෙයක් බවට පත්ව තිබිණි. "මාව අනිත් අයට කරදරයක් නම් මොකද කරන්නේ?" වැනි සිතුවිලි එවිට ඇතිවිය. තත්වය මත පදනම්ව එවැනි සිතුවිලි තවමත් මට වද දෙමින් තිබුණ ද පුහුණුව සමඟ දැන් එය මට පහසු වී ඇත.

2) අපට ලැබෙන්නේ එක ජීවිතයකි

ඔබේ වටිනාකම් මොනවාද සහ ඔබේ ජීවිතයෙන් ඔබට අවශ්‍ය දේ තීරණය කරන්න. ඔබේ බස් රථයෙන් යා යුත්තේ කොතැනටද සහ ඔබට එහි යාමට අවශ්‍ය ආකාරය තීරණය කිරීමට පහත ප්‍රශ්න භාවිතා කරන්න. ඔබට වැදගත් වන්නේ කුමක්ද? ඔබට අවශ්‍ය කුමක්ද සහ ඔබගේ අවශ්‍යතා මොනවාද? පහසු හෝ ප්‍රසන්න නොවන අවස්ථාවක පවා ඔබ කැපවී සිටින්නේ කුමන දෙයකටද?

පෞද්ගලිකව, මම පුද්ගලික සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටිමි. රැකියාවේදී හෝ මගේ විනෝදාංශ හරහා වේවා, ස්වයං දැනුවත්භාවය වර්ධනය කර ගැනීමටත් නව කුසලතා ඉගෙන ගැනීමටත් මට අවශ්‍යය වේ. ඉගෙනීම සහ වර්ධනය වීම සඳහා වෙහෙස මහන්සි වී කැපකිරීම් කළ යුතු බව මම පිළිගන්නා අතර මා බලාපොරොත්තු වූ දෙය සෑම විට ම නොලැබුණත්, වැදගත්ම දේ වන්නේ මම ඒ සඳහා උත්සාහ කළ බව යන්න මම මට ම සිහිකැඳවමි.

3) ඔබට කළ හැකි දේ සහ නොහැකි දේ මොනවාද යන්න පිළිගන්න

මා කුඩා කළ සිහින මැවූ පවුල මට තවමත් හිමිවී නැත. මගේ ළමා කාලයේ විවිධ අවස්ථා වලදී මගේ මව්පියන් දෙදෙනාගෙන්ම වසර ගණනාවක් වෙන්ව සිටි අතර කවදා හෝ දිනෙක මට ම කියා මා හැර දා යා නොහැකි පවුලක්; ගොඩනගා ගන්නා බව මම මට ම පොරොන්දු විය. නමුත් මේ අනපේක්ෂිත ලෝකය තුළ මිනිසුන්ට කැමැත්තෙන් හෝ වෙනත් ආකාරයකින් පිටව යා හැකි බව සත්‍යයකි.

මගේ මවුපියන් අහිමි වීමේ වේදනාව (සහ තවත් බොහෝ දේ) මගේ ප්‍රේම සබඳතාවලදී ඇති වූ අවිනිශ්චිත බව දරාගැනීම පවා මට බෙහෙවින් අපහසු විය. මම මිනිසුන්ව ඕනෑවට වඩා තදින් අල්ලාගෙන සිට පසුව ඔවුන්ව දුරස් කළෙමි . නමුත් අපට වෙනස් විය හැකි බව මම විශ්වාස කරන අතර මම අඛණ්ඩව සංවර්ධනය වෙමින් සිටිමි. අවසාන වශයෙන් මම මාගේ හීන අත නොහරින බව තීරණය කර ඇත්තෙමි. ඔබ ද ඔබේ හීන කිසි විටෙක අත නොහරින්න.

4) වැරදීම් යනු ක්‍රියාවලියේම කොටසකි

ඔබ අතින් වැරදි සිදු නොවන්නේ නම්, ඒ ඔබ බොහෝ ආරක්ෂිතව කටයුතු කරන නිසා විය හැක. අන් අය එය නොදැන සිටියත්, ඔබ එය හොඳින් දනී.

5) ගමනාන්තය තරමටම ඔබේ ගමනත් අගය කරන්න

ඔබට එහි ගමන් ගන්නා තෙක් තත්පර ගණන් කරමින් ඔබේ බස් රථයේ රැඳී සිටීම හෝ ගමනේ උපරිමය භුක්ති විඳීමට උත්සහ කළ හැකියි. කවුළුවෙන් පිටත බලන්න - ඔබට අවශ්‍ය නම් උපදෙස් ලබා ගන්න. අපි අපගේ ගමන අගය කරන්නේ නම්, අපගේ ජීවිතය වඩාත් සුමට හා විනෝදජනක වනු ඇත.

'ජීවිතය' යනුවෙන් අප හඳුන්වන මෙම ගමනේදී අන් අ‍ය පිළිබඳ සොයා බලන්න, සහයෝගය සහ මගපෙන්වීම් ලබා ගන්න, නමුත් මතක තබා ගන්න, අවසානයේදී මෙය ඔබේ ජීවිතයයි, එහි රියදුරු අසුනේ සිටිය යුතු වන්නේ ඔබයි.