ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ගැන ජනපති කළ ප්‍රකාශයට ජාත්‍යන්තරය දැක්වූ ප්‍රතිචාර
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 19) මෙරටදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.
ඇමෙරිකානු විශේෂ නියෝජිතයා හමුවීමෙන් දිනකට පසුව එනම් මාර්තු 20 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන බලශක්ති අර්බුදය ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේ ය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් මෙරට මත්තල ගුවන් තොටුපොළට ගොඩබෑමට කළ ඉල්ලීමක් පිළිබඳව ද සඳහන් විය.
ඇමෙරිකානු ගුවන් යානා ගැන ජනපති කිව්වේ මොනවා ද?
"ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නයේදී විශේෂයෙන් 2026-02-26 වන දින අපෙන් ඉල්ලීමක් කළා මාර්තු 09 සහ 13 දිනවලදී සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයකට නාවික යාත්‍රා 03ක් ලංකාවට පැමිණීමට අවශ්‍ය යි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියා. ඒ වගේ ම එදින ම සවස එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටියා ප්‍රහාරක ගුවන් යානා දෙකකට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා අපේ රටේ මධ්‍යස්ථභාවය පිළිබඳ. ඒ වන විටත් යුදමය ගැටුම් පිළිබඳ සංඥා මතු වී තිබුණා. ඒ නිසා අපි මේ ඉල්ලීම් දෙකට ම අවසර ලබා දුන්නේ නැහැ. ඇතැම් අය ප්‍රශ්න කළා ඇයි ඉරාන නෞකා දෙකට අවසර දුන්නේ නැත්තේ කියලා. එහෙම කළා නම් අපේ සමස්ත මධ්‍යස්ථභාවය ම ගිලිහෙනවා. ඒ වගේ ම අපේ කලාපයෙන් ඈත පැවති යුදමය ගැටුමක් මත්තල සහ කොළඹ වරායට ළඟා වෙනවා. කුමන පීඩනයක් මධ්‍යයේ වුව ද අපි රට ආරක්ෂා කළා."
ඒ, පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා (මාර්තු 20) සිදුකළ කතාවේදී ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා සහ ඉරාන යුද නෞකා පිළිබඳව දැක්වූ අදහස යි.
ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධයෙන් පළ කර තිබූ වාර්තා මොනවා ද?
ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා දෙකකට මත්තල ගුවන් තොටුපොළට ගොඩබෑමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල අවදානය යොමු වී තිබිණි.
ඇමෙරිකානු දේශපාලන විචාරකයෙකු සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු ලෙස කටයුතු කරන ජැක්සන් හින්කල් සිය X ගිණුමේ සටහනක් තබමින් කියා තිබුණේ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ආණ්ඩුව ඇමෙරිකානු හමුදා ගුවන් යානා දෙකකට සිවිල් ගුවන් තොටුපොළට ගොඩබෑමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බව ය.
මීට අමතරව රොයිටර්ස්, අල් ජසීරා, ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා, TRT World, First Post, අල් අරාබියා වැනි ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය පිළිබඳව කරුණු වාර්තා කර තිබිණි.
'අපේ රට ගැන ආඩම්බර යි'
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු මෙන් ම නීතිඥවරයෙකු වන අලි සබ්රී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබා තිබිණි.
"සංකීර්ණ භූ දේශපාලනික පරිසරයක් තුළ, ශ්‍රී ලංකාව සිය ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා සමබරතාවයෙන්, සංයමයෙන් සහ පැහැදිලිබවකින් යුතුව ක්‍රියා කර ඇත. ප්‍රතිපත්තිමය වශයෙන් අනුකූලතාව විශ්වාසය ගොඩනඟයි. නිහඬ ශක්තිය එය පවත්වා ගනී.
අපේ රට ගැන ආඩම්බරයි. ජනාධිපතිතුමාට සුබ පැතුම්."
'සුපිරි බලවතෙකුට එපා කියන්න ඔබට අවශ්‍ය වන්නේ, හරි වැරැද්ද වටහා ගැනීමට හැකියාවක් සහ කශේරුකාවක් පමණ යි'
මේ අතර ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සාමය සහ ගැටුම් පර්යේෂණ පිළිබඳ මහාචාර්යවරයෙකු වන අශෝක් ස්වේන් ද සිය X ගිණුමේ සටහනක් තබා තිබිණි.
ලොව සුපිරි බලවතෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා තිබිය යුත්තේ, කොන්දක් සහ සදාචාරයක් පමණක් බව ඔහු සිය සටහනේ සඳහන් කර තිබිණි.
"මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමෙරිකාව කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. සුපිරි බලවතෙකුට එපා කියන්න ඔබ විශාල හා ශක්තිමත් විය යුතු නැහැ. ඔබට අවශ්‍ය වන්නේ, හරි වැරැද්ද වටහා ගැනීමට හැකියාවක් සහ කශේරුකාවක් පමණ යි."