ජේ ෂා ක්‍රිකට් ක්‍රීඩාවට හානි කරන බවට පකිස්ථානය චෝදනා කරන්නේ ඇයි?

කියවීමේ කාලය: මිනිත්තු 6

ඇෆ්ගනිස්ථානයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ ප්‍රකාශයට පකිස්ථානය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ එහි සභාපති ජේ ෂාගේ ප්‍රකාශය පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට හානි කිරීමේ උත්සහයක් බව පකිස්ථාන තොරතුරු හා විකාශන අමාත්‍ය අතාවුල්ලා තාරාර් පවසයි.

ජේ ෂාගේ ප්‍රකාශය පසුගිය මාසයේ පැවති ආසියානු කුසලානයේ සිට පවතින මතභේදාත්මක 'අතට අත දීමේ තහනමේ' තවත් කොටසක් බව අතාවුල්ලා තාරාර් පැවසීය.

පකිස්ථානය එල්ල කළ ප්‍රහාරයකින් කබීර් අගා, සිබ්ගාතුල්ලා සහ හරූන් යන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා ජීවිතක්ෂයට පත්වූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබිණි.

මෙම ප්‍රහාරයෙන් පසු ලබන මස පැවැත්වීමට නියමිත තුන් කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ ය.

පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. ඇෆ්ගනිස්ථානය වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ආදේශ කරනු ඇත.

'ICCය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරලා නැහැ'

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජේ ෂා විසින් කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන පකිස්ථානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තාරාර්, එය අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමේ උත්සහයක් ලෙස හඳුන්වයි.

සිය X ගිණුමේ ප්‍රකාශයකින් තාරාර් පවසන්නේ, දේශසීමා ත්‍රස්තවාදයේ විශාලතම ගොදුර පකිස්ථානය බව ය.

"ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවට වූ ප්‍රකාශය පිළිගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ පක්ෂග්‍රාහී සහ ඉක්මන් ප්‍රකාශය පකිස්ථානය ප්‍රතික්ෂේප කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු ස්වාධීන මූලාශ්‍රයක් හෝ විශ්වාසදායක සාක්ෂියක් සපයා නැහැ," ඔහු සිය සටහනේ දක්වා තිබිණි.

තාරාර් පවසන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ චෝදනාව ම ජේ ෂා විසින් ද සිදු කරනු ලැබ ඇති බව ය.

"මෙම චෝදනා පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට හානි කිරීමට ICC ප්‍රධානීන් සහ ජේ ෂා දරන උත්සහයේ කොටසක්" බව අතාවුල්ලා තාරාර් පැවසීය.

ආසියානු කුසලානය අතරතුර පසුගිය දා ඇති වූ 'අතට අත නොදීමේ' මතභේදය හරහා පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කිරීමේ උත්සහයක් පැවති බව ද ඔහු පැවසීය.

පසුගිය මාසයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්, කාසියේ වාසිය විමසා බලන අවස්ථාවේදී පකිස්ථාන නායක සල්මන් අලි අගා සමග අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම විශේෂ කරුණක් විය.

තොරතුරු හා විකාශන අමාත්‍යවරයා පැවසුවේ, 'විශ්වාසදායක බුද්ධි තොරතුරු' මත පසුගිය සිකුරාදා රාත්‍රියේදී හෆීස් ගුල් බහදූර් කණ්ඩායමට එරෙහිව මෙහෙයුමක් දියත් කළ බවත්, එහිදී අවම වශයෙන් ත්‍රස්තවාදීන් 60ත් 70ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බවත් ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ කුමක් ද?

ICC සභාපති ජේ ෂා සෙනසුරාදා සවස සිය X ගිණුමෙහි සටහනක් තබමින් මෙම සිදුවීම පිළිබඳ ඔහුගේ කනගාටුව පළ කළේ ය.

"අර්ථ විරහිත ප්‍රචණ්ඩ ක්‍රියාවකින් ජීවිතය අවසන් වූ තරුණ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වන කබීර් අගා, සිබ්ගාතුල්ලා සහ හරූන්ගේ මරණය ගැන මට කනගාටුයි," ඔහු සිය සටහනේ සඳහන් කර තිබිණි.

මේ අතර, යොවුන් ක්‍රීඩකයින් තිදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස ශෝකයට පත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.

"සුහද ක්‍රිකට් තරගයක් අවසන් වී නිවෙස් බලා යමින් සිටි තරුණ ක්‍රීඩකයින් තිදෙනෙක් ප්‍රහාරයකින් මිය ගියහ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ප්‍රචණ්ඩත්වය හෙළා දකින අතර මේ අවස්ථාවේදී අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර ම, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සහය පළ කරන," බව ද එම නිවේදනයේ දැක්වේ.

එම අවස්ථාවේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රිකට් ප්‍රජාව සහ ක්‍රීඩකයින්ගේ පවුල් සමග තමන් ද පෙනී සිටින බව ය.

"අහිංසක ජීවිත, විශේෂයෙන් තරුණ දක්ෂ ක්‍රීඩකයින් අහිමි වීම, දැඩි කනගාටුවට සහ කනස්සල්ලට කරුණකි. අපි ඇෆ්ගනිස්ථානයේ ජනතාවට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන අතර ඔවුන් සමග ශෝකය බෙදා ගන්නෙමු," යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.

මෙම ප්‍රකාශය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිය ස්තුතිය පුද කර ඇත.

"අපි මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළ කළ සහයෝගය අපි අගය කරන අතර ම, මෙම අමානුෂික ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු," යැයි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිය X ගිණුමේ සටහනක් තබා තිබිණි.

රෂිඩ් ඛාන් සිය X ගිණුමේ පෞද්ගලික දත්තවලින් Lahore Qalandars නම ඉවත් කරයි

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් වසර ගණනාවක් පකිස්ථාන් සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරමින් Lahore Qalandars කණ්ඩායම සඳහා ක්‍රීඩා කර ඇති අතර එය ඔහුගේ ප්‍රියතම ලීග් කණ්ඩායම ලෙස නම් කර තිබිණි.

එහෙත්, මෙම සිද්ධියෙන් පසු ඔහු තම X ගිණුමේ පෞද්ගලික දත්ත ලැයිස්තුවෙන් Lahore Qalandars කණ්ඩායම ඉවත් කිරීමට කටයුතු කළේ ය.

රෂීඩ් ඛාන් මෙම ප්‍රහාරය "ඛේදනීය" ක්‍රියාවක් ලෙස හැඳින්වූ අතර පකිස්ථානය සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට තමා සහය දෙන බව පැවසීය.

"සිවිල් ජනතාව ඉලක්ක කිරීම සම්පූර්ණයෙන් ම සදාචාර විරෝධී සහ ම්ලේච්ඡ ක්‍රියාවක්. එවැනි නීති විරෝධී සහ අසාධාරණ ක්‍රියා මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්" යැයි ඔහු පැවසීය.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන යුව්රාජ් සිං සහ ඉර්ෆාන් පතාන් ඇතුළු තවත් ක්‍රීඩකයින් පිරිසක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම ශෝකය පළ කර තිබේ.

"පකිස්ථානය සෑම විට ම සිය ඇෆ්ගන් සහෝදරයින් වෙනුවෙන් නැගී සිටියා. මිලියන 4ක් සරණාගතයින්ට අපගේ භුමියේ නවාතැන් ලබාදීමට කටයුතු කළා. නමුත් කනගාටුදායක ලෙස, ඇෆ්ගනිස්ථානය මෑතකදී මේ සියලු උපකාර අමතක කරලා දැන් දේශසීමාවලට විවෘතව පහර දෙනවා," හිටපු පකිස්ථාන ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි ඉන්ස්ටග්‍රෑම් සමාජ වේදිකාවෙහි සටහන් කර තිබිණි.

ප්‍රහාරය ගැන මෙතෙක් දන්නේ මොනවා ද?

තලිබාන් රජයේ ප්‍රකාශක සබීහුල්ලා මුජාහිද් පවසන්නේ, කටාර්හිදී තම දූත පිරිස සහ පකිස්ථානය අතර පැවති සාකච්ඡා අවසන් වී ඇති අතර දෙපාර්ශවය ගිවිසුමකට අත්සන් කර ඇති බව ය.

සම්පූර්ණ සටන් විරාමයක් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවලදී එකඟ වූ බව මුජාහිද් ප්‍රකාශ කළේ ය.

"දෙපාර්ශවය සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ යහපත් අසල්වැසි සබඳතා පවත්වා ගැනීමට එකඟ වුණා. ඔවුන්ට අවශ්‍ය වන්නේ සංවාදයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට මිස පකිස්ථාන රජයට එරෙහිව සතුරු ක්‍රියාමාර්ග හෝ සහායක කණ්ඩායම්වලට සහය දැක්වීමට නෙවෙයි," ඔහු සඳහන් කළේ ය.

පකිස්ථාන නියෝජිත පිරිසට ආරක්ෂක අමාත්‍ය ඛවාජා මොහොමඩ් අසීෆ් ද ඇතුළත් වූ අතර සාම ගිවිසුමකට එළැඹි බව ඔහු තහවුරු කළේ ය.

"අසල්වැසි රටවල් දෙක ම එකිනෙකාගේ භූමියට ගරු කරනවා, ඇෆ්ගන් භූමියෙන් පකිස්ථානයට එල්ල වන ත්‍රස්තවාදී ප්‍රහාර වහා ම නතර කරනවා," යැයි ඔහු පැවසීය.

සිකුරාදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථානය පවසා තිබුණේ, ආරක්ෂක හමුදා ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි උතුරු සහ දකුණු වසිරිස්ථාන් දිස්ත්‍රික්කවල මායිම් ප්‍රදේශවල 'ත්‍රස්ත කඳවුරු' ඉලක්ක කර ගත් බව ය.

සිකුරාදා රාත්‍රියේ එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරමින් පකිස්ථාන ආරක්ෂක හමුදා පැවසුවේ, ඇෆ්ගනිස්ථානයට ආසන්න උතුරු සහ දකුණු වසිරිස්ථානයේ දේශසීමා ප්‍රදේශවල 'ත්‍රස්ත කඳවුරු' ඉලක්ක කර ගත් බව ය.

පකිස්ථානයේ තොරතුරු හා විකාශන අමාත්‍ය අතාවුල්ලා තාරාර් සිය X ගිනුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ඔවුන් දේශසීමා ආසන්නයේ 'ත්‍රස්තවාදී' කණ්ඩායමක් වන හෆීස් ගුල් බහාදුර් කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ය.

BBC පැෂ්ටෝ පුවත් සේවයට අනුව, ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ උර්ගුන් දිස්ත්‍රික්කයට එල්ල වූ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.