Google හිටපු ප්‍රධානියෙකු BBC නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

    • Author, පෝල් ග්ලින් සහ හෙලන් බුෂ්බි
  • කියවීමේ කාලය: මිනිත්තු 7

බීබීසී නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ගූගල් සමාගමේ හිටපු විධායක නිලධාරී මැට් බ්‍රිටින් තහවුරු කර තිබේ.

ගූගල් සමාගමේ යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකානු මෙහෙයුම්වල හිටපු ප්‍රධානී මැට් බ්‍රිටින් පත් කරනු ලබන්නේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් Panorama වැඩසටහනක් සඳහා සංස්කරණය කළ ආකාරය පිළිබඳ ආන්දෝලනයකින් පසු නොවැම්බර් මාසයේදී ඉල්ලා අස්වන බව දැනුම් දුන් ටිම් ඩේවි වෙනුවට ය.

වසර 18කට පසු 2025 දී ගූගල් සමාගම හැර ගිය බ්‍රිටින්, "පරිවර්තනයක් තුළින් ඉහළ පෙළේ සහ ඉතා සංකීර්ණ සංවිධානයක් මෙහෙයවීමේ ගැඹුරු අත්දැකීම් බීබීසීයට ගෙන එනු ඇතැයි" බීබීසී සභාපති සමීර් ෂා පැවසීය.

57 හැවිරිදි බ්‍රිටින් පැවසුවේ, "මෙම කාර්යය ආරම්භ කිරීමට නොඉවසිල්ලෙන් පසුවන" බවත්, එය "සැබෑ අවදානමක්, නමුත් සැබෑ අවස්ථාවක්" ලෙසත් විස්තර කරන බවත් ය.

"සංකීර්ණ, අවිනිශ්චිත සහ වේගයෙන් වෙනස් වන ලෝකයක සැමට ගැළපෙන සමෘද්ධිමත් බීබීසීයක්" එක්සත් රාජධානියට අවශ්‍ය බව ඔහු පැවසීය.

"කතා ඇති තැනට සහ ප්‍රේක්ෂකයින් සිටින තැනට ළඟා වීමට බීබීසීයට වේගය සහ ශක්තිය අවශ්‍ය යි. අද වන විට විශ්වාසය සහ නිර්මාණාත්මක ශක්තීන් ගොඩනගා ගැනීමට, ධෛර්යයෙන් අභියෝගවලට මුහුණ දීමට සහ අනාගතයට සුදුසු මහජන සේවාවක් ලෙස දියුණු වීමට වේගය සහ ශක්තිය අවශ්‍ය යි," ඔහු තවදුරටත් සිය න්‍යාය පත්‍රය පැහැදිලි කරමින් පැවසීය.

'රැඩිකල් ප්‍රතිසංස්කරණයක්'

බීබීසී සභාපති සමීර් ෂා විසින් බ්‍රිටින් හඳුන්වනු ලැබුවේ, "මාධ්‍ය වෙළඳපොළේ සහ ප්‍රේක්ෂක හැසිරීම්වල සිදුවන බොහෝ වෙනස්කම් හරහා බීබීසී පුවත් සේවය නිසි මාර්ගයේ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කුසලතා" සහිත "විශිෂ්ට නායකයෙකු" ලෙස ය.

"බීබීසී ආයතනය සම්බන්ධයෙන් බ්‍රිටින් තුළ පවතින දැඩි කැමැත්ත, සංවිධානය මුහුණ දෙන අභියෝග පිළිබඳ ඔහුගේ අවබෝධය, එහි ස්වාධීනත්වය සඳහා ඔහුගේ කැපවීම සහ රටේ ශ්‍රේෂ්ඨතම ජාතික වත්කමක් ලෙස බීබීසී ආයතනය දිනා ඇති තත්ත්වය පවත්වාගෙන යාමට ඇති ඔහුගේ අධිෂ්ඨානය" ද සභාපතිවරයාගේ ප්‍රශංසාවට ලක් විය.

බ්‍රිතාන්‍ය රජය, බීබීසීය සම්බන්ධයෙන් ඇති රාජකීය ප්‍රඥප්තිය සමාලෝචනයකට ලක් කරන අතරතුර, නව අධ්‍යක්ෂ ජනරාල්වරයා "තීරණාත්මක කාලයක" බීබීසී ආයතනයට එක්වන බව සභාපතිවරයා තවදුරටත් පැවසීය.

"බීබීසී ආයතනයේ අරමුදල් ආකෘතිය සහ එය ක්‍රියාත්මක වන රාමුව රැඩිකල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව පැහැදිලි යි. බීබීසී ආයතනයේ සහ මහජන සේවා විකාශනවල අනාගතය සඳහා වන අවදානම කවදාවත් මෙතරම් වැඩි වී නැහැ."

මහජන සේවය හෝ සාම්ප්‍රදායික කතුවැකි සහ විකාශන අංශවලට වඩා තාක්ෂණය පිළිබඳ පසුබිමක් ඇති අයෙකු මෙම තනතුරට පත් කිරීම පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කර තිබේ.

CNN හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති මාර්ක් තොම්සන් පැවසුවේ, මෙම පත්වීම සතුටින් පිළිගන්නා බව ය.

"එය පැහැදිලිව ම නිර්භීත හා සිත්ගන්නාසුලු තේරීමක්, අනාගතය සඳහා ආයෝජනයක්," තොම්සන් පැවසීය. "පසුබිම අනුව මැට් බ්‍රිටින් විකාශකයෙකු හෝ මාධ්‍යවේදියෙකු නොවන නමුත් පෙර කිසිදු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට නොතිබූ කුසලතා සහ අත්දැකීම් රැකියාවට ගෙන ඒවි."

"ඔහු සැබවින් ම මහජන අභිලාෂයන් ගැන අවබෝධයක් සහිත උපායමාර්ගික වෘත්තිකයෙකු වන අතර සිත්ගන්නාසුලු හා දිරිගන්වනසුලු තේරීමක්."

බීබීසී ආයතනයේ උසස් ම රැකියාව බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වඩාත් ම ඉල්ලුමක් ඇති එකක් ලෙස සැලකේ.

බීබීසී 17 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩේවිගේ ධුර කාලය තුළ, ආයතනයේ අපකීර්තිමත් සහ අර්බුදකාරී සිද්ධි මාලාවක් සමග කටයුතු කිරීමේ වගකීම ඔහු දැරීය.

බ්‍රිටින්ගේ ප්‍රමුඛතා අතරට එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් බීබීසීයට එරෙහිව ගොනු කරන ලද ඩොලර් බිලියන ගණනක අපහාස නඩුවක් හැසිරවීම ද ඇතුළත් වනු ඇත.

2021 ජනවාරි 6 වන දින ඔහු කළ කතාවක කොටස් දෙකක් Panorama වැඩසටහන සඳහා සංස්කරණය කරන ලද ආකාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් විරෝධය පළ කරන අතර, ඒ සඳහා බීබීසී සමාව අයැද සිටියේ ය.

පසුගිය සතියේ බීබීසී ආයතනය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ Panorama වැඩසටහන කිසි දා එක්සත් ජනපදයේ විකාශය නොවූ බව පවසමින් නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ය.

BBC ආයතනය සන්ධිස්ථානයක

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණෙන්නේ, තවත් ආකාර කිහිපයකින් ද බීබීසී සේවයේ තීරණාත්මක කාලයකදී ය.

ආයතනය සඳහා වන රාජකීය ප්‍රඥප්තිය, බලපත්‍ර ගාස්තුව සහ බීබීසී අරමුදල්වල අනාගතය පිළිබඳව ඔහු රජය සමග අඛණ්ඩව සාකච්ඡා කරනු ඇත.

බීබීසී පැවැත්මේ නියමයන් සහ අරමුණු දක්වා ඇති වත්මන් ප්‍රඥප්තිය 2027 දී කල් ඉකුත් වනු ඇත.

බ්‍රිටින්ගේ පත්වීම සිදුවන්නේ ද බීබීසී ආයතනය ඩිජිටල් මාධ්‍ය වෙළඳපොළේ තාක්ෂණික දැවැන්තයින් සමග තරග කරන අවස්ථාවක ය.

ගූගල්හි මව් සමාගම යූ ටියුබ් හිමිකාරීත්වය දරන අතර, බීබීසී මෑතකදී සුවිශේෂී අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා සන්ධිස්ථානීය ගනුදෙනුවක් ඇති කර ගත් YouTubeහි හිමිකාරිත්වය දරන්නේ, ගූගල් මව් සමාගම යි.

තාක්ෂණික පසුබිමක් තිබීම අමතර වාසියක් ද?

බීබීසී මාධ්‍ය සංස්කාරක කේටි රසාල් මෑතකදී සටහන් කළේ, ආකර්ෂණීය නායකයෙකු සහ විශිෂ්ට කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස" ගූගල්හි සේවකයින්ට "බ්‍රිටින් ගැන කීමට ඇත්තේ හොඳ දේවල් පමණක් බව ය. ඔහු

බ්‍රිටින්ට ගූගල්හි ඔහුගේ භූමිකාව ගැන ප්‍රශ්න කිරීම්වලට ලක්වීම හැරුණුකොට ඇත්ත වශයෙන් ම ඔහුට වැඩසටහන් නිර්මාණය, විකාශනය පිළිබඳ කිසිදු මාධ්‍යමය අත්දැකීමක් නොමැත.

නමුත් රසාල් මෙසේ ලිවීය: "තාක්‍ෂණය පිළිබඳ ඔහු සතු විශාල අභ්‍යන්තර දැනුම නිසා ඔහුව බීබීසී මණ්ඩලය විසින් තෝරා ගනු ලැබ ඇත. ඔහු ප්‍රවෘත්ති වැනි ක්ෂේත්‍රයන්හි වර්ධනය ඩිජිටල් වෙත ගෙන යනු ඇතැයි අපේක්ෂාවක් ඇත. ඔහු BBC iPlayer වැඩිදියුණු කිරීම සහ නව්‍යකරණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇත."

ගූගල් සමාගමේදී බ්‍රිටින් සමග සේවය කළ හිටපු බීබීසී නිව්ස්නයිට් කර්තෘ පීටර් බැරන් පැවසුවේ, තමා "මහජනයාට සේවය කිරීමෙන් අභිප්‍රේරණයක් ලබන" බව ය.

"ඔහු බීබීසී ආයතනයට ආදරය කරන්නේ එහි විශ්වාසදායක ප්‍රවෘත්ති සහ නිර්මාණශීලීත්වය නිසා. ඒ වගේ ම තාක්ෂණික පුරෝගාමියෙකු ලෙස එහි ඉතිහාසය ගැනත් ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා."

"ඔහුට අවශ්‍ය බීබීසී ආයතනය දියුණු කිරීමට. එහි දැවැන්ත ම අභියෝග බොහොමයක් තාක්ෂණයට සම්බන්ධ යි. විකාශය කරන්නන්ගේ බලය, මාර්ගගත වැරදි තොරතුරු නැතහොත් මිනිසුන් අන්තර්ගතයන් පරිශීලනය කිරීමට කැමති ආකාර පිළිබඳ අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබෙනවා."

"තාක්ෂණික කර්මාන්තය පුරා ඔහුගේ අත්දැකීම් සහ සම්බන්ධතා මෙන් ම විකාශකයින්, ප්‍රවෘත්ති කර්මාන්තය, නියාමකයින් සහ රජයන් සමග ඔහු ගොඩනගා ගත් සබඳතා සැලකිල්ලට ගත් විට, අභියෝගවලට මුහුණ දීමට ඔහු ඉතා හොඳ ස්ථානයක සිටින බව මම සිතමි."

මැට් බ්‍රිටින් යනු කවුද?

සරේහි වෝල්ටන්-ඔන්-තේම්ස්හි උපත ලැබූ බ්‍රිටින්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගත් අතර, එම විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් තුන් වතාවක් ඔරු පැදීමේ තරග ඉසව්වලට සහභාගි විය.

ඔහු මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔරු පැදීමේ නිරත වූ අතර, 1989 ලෝක ඔරු පැදීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු, බ්‍රිටින් ලන්ඩන් ව්‍යාපාරික පාසලේ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරූ අතර, පසුව ට්‍රිනිටි මිරර්හි උපාය මාර්ගික සහ ඩිජිටල් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ සහ වාණිජ අධ්‍යක්ෂ ලෙස පත්විය.

ඔහු 2007 දී ගූගල් සමාගම සමග සම්බන්ධ වූ අතර, වසර දෙකකට පසු එහි එක්සත් රාජධානියේ මෙහෙයුම් අධ්‍යක්ෂ ධූරයට පත් වූ අතර, පසුව 2011 දී උතුරු සහ මධ්‍යම යුරෝපයේ උපසභාපති ධුරයට උසස් කරන ලදී.

ඔහු 2014 දී යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකාවේ ගූගල් සභාපති බවට පත්විය.

පසුගිය වසරේ ගූගල් සමාගමෙන් ඉවත් වූ පසු, ඔහු වෘත්තියෙන් "කුඩා විවේකයක් ගත් වසරක්" ගත කළේ ය.

ඔහු තම නිදහස් කාලය ගත කරන ආකාරය ගැන කතා කරමින් LinkedIn හි මෙසේ සටහන් කර තිබිණි: "මම දැනටමත් රැවුලක් වවාගෙන ඉන්නේ. බෝට්ටුවකුත් මිල දී ගත්තා. මගේ පුතා උපදේශකයෙකු ලෙස සුදුසුකම් ලැබූ විට ඔහුගෙන් ස්කූබා කිමිදීම ඉගෙන ගැනීමට සැලසුම් කරනවා."

ඔහු පසුගිය වසරේ ගාඩියන් මාධ්‍ය සමූහයේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු බවට පත්වූ නමුත් දැන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

2026 ජනවාරි මාසයේදී ඔහු තාක්ෂණය සහ ඩිජිටල් කුසලතා සඳහා කළ සේවාවන් වෙනුවෙන් රාජකීය ගෞරව සම්මාන උළෙලේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණදෙන නිලධාරී ගෞරව නාමයකින් පිදුම් ලැබී ය.

රූපවාහිනිය සමග ඇති ඔහුගේ සම්බන්ධතාව පිළිබඳව ඔහු පසුගිය වසරේ රාජකීය රූපවාහිනී සංගමයට මෙසේ පැවසීය: "රූපවාහිනිය නැරඹීමෙන් සහ රූපවාහිනියෙන් ඉගෙන ගැනීමෙන් මගේ ජීවිතයේ වෙනත් බොහෝ දේවලට වඩා මාව හැඩගස්වා තියෙනවා."

"මෝර්කැම්බේ සහ වයිස් ෆෝ මී, නයින් ඕ'ක්ලොක් නිව්ස්, නොට් නයින් ඕ'ක්ලොක් නිව්ස්, තන්ඩර්බර්ඩ්ස්, කැප්ටන් ස්කාර්ලට්, ඩොක්ටර් හූ වගේ වැඩසටහන් විශේෂ යි."

"තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරන බොහෝ දෙනෙක් ඒ වගේ රූපවාහිනී වැඩසටහන්වල ඇති විද්‍යාව, තාක්ෂණික කරුණුවලින් යම් අධ්‍යාපනයක් ලැබුවා."

ගූගල් සමාගම ගෙවිය යුතු බදු ගැන ප්‍රශ්න කිරීම්

සිය පෙර රැකියාවේ කොටසක් ලෙස, බ්‍රිටින්ට පාර්ලිමේන්තු කමිටු ඉදිරියේ පෙනී සිටීමට සිදුවූ අතර, එක්සත් රාජධානියේ ගූගල් බදු ගෙවීම සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්න කිරීම්වලට මුහුණ දීමට සිදු විය.

2012 සහ 2013 දී මන්ත්‍රීවරුන් සමග ප්‍රබල තර්ක කිරීම් හමුවේ, ඔහු සමාගම ආරක්ෂා කළේ ය.

මෙම ආරවුල ගූගල් බද්ද හඳුන්වා දීමට හේතු වූ අතර, 2016 දී ගූගල් සමාගම ස්ටර්ලිං පවුම් මිලියන 130ක බදු ආපසු ගෙවීමට එකඟ වූ අතර, එය රජය විසින් "ජයග්‍රහණයක්" ලෙස ප්‍රශංසා කරන ලද නමුත් විචාරකයින් විසින් සමච්චලයට ලක් කරන ලදී.

එම වසරේ ම මන්ත්‍රීවරුන් ඉදිරියේ තවත් වරක් පෙනී සිටි බ්‍රිටින්, තමාට කොපමණ ගෙවීමක් ලැබුණා දැයි තමා නොදන්නා බව පැවසූ විට ඔහු පිළිබඳ අවිශ්වාසයක් ගොඩ නැගිණි.

ඔහුගේ නව බීබීසී භූමිකාව තුළ පාර්ලිමේන්තු කමිටුවලදී තවත් විවේචනවලට ඔහු මුහුණ දෙනු ඇත, ඩේවි ඔහුගේ ධුර කාලය තුළ බොහෝ වාරයක් එවැනි අවස්ථාවලට මුහුණ දී ඇත.

ඔහුට දැන් ඔහුගේ විවේකී වර්ෂයෙන් මාස දෙකක් ඉතිරිව ඇති අතර, මැයි 18 වන දින ඔහුගේ නව රැකියාව ආරම්භ කරනු ඇත.

ඔහුට ඔහුගේ පූර්වගාමියාට (ටිම් ඩේවි) සමානව වසරකට පවුම් 565,000ක වැටුපක් ගෙවනු ලබන අතර, ඔහුගේ පළමු කාර්යයන්ගෙන් එකක් වන්නේ ඔහුගේ නියෝජ්‍ය තනතුරට සුදුස්සෙකු පත් කිරීම ය.