හිටපු පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ඔබට මිතුරුකම් පැවැත්විය හැකි ද?

    • Author, එමිලි හෝල්ට්
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීම අසීරු අත්දැකීමකි. ඔබ සියල්ල බෙදාගත් පුද්ගලයා හදිසියේ ම ඔබට අහිමි වේ. එසේ ඔබට අහිමි වූ හිටපු පෙම්වතෙකු/පෙම්වතියක සමග මිතුරන් ලෙස සිටීමත් ඒ හා සමානව ම වේදනාකාරී විය හැකි ය.

"ඔවුන්ගේ හිටපු පෙම්වතුන් එක්ක යාළුවෝ වගේ ආශ්‍රය කරන යාළුවෝ ගොඩක් මට නැහැ," මිලේනියල් ලව් නමැති ප්‍රේම සබඳතා පිළිබඳ අත්පොතෙහි කතුවරිය වන ඔලිවියා පෙටර් පවසයි. නමුත් ඇය අවස්ථා කිහිපයකදී එවැනි සිද්ධි කළමනාකරණය කර ඇත.

මිතුරන් ලෙස සිටිනවා ද? නැතහොත් කිසිදු සම්බන්ධතාවක් නොමැතිව සිටිනවා ද? යන්න තීරණය කිරීමට පෙර ඔබ විමසිය යුතු ප්‍රශ්න හතරක් මෙහි දැක්වේ.

1. එම සම්බන්ධතාව කෙතරම් බරපතළ ද?

"මට පිරිමි එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්ක කෙටි, සාමාන්‍ය ආදර සම්බන්ධතා තිබුණා. ඒවා පසුව මිතුරුකම් බවට පත් වුණා," ඔලිවියා BBC Radio 4 ඔස්සේ ප්‍රචාරය වූ Woman's Hour වැඩසටහනට එක්වෙමින් පැවසුවා ය.

"අපි එක් වරකදී හෝ ආදර සම්බන්ධතාව අත්විඳලා තිබුණා කියන එක, ආතතියක් හෝ සැකයකින් තොරව සමීප මිතුරන් වශයෙන් ඉන්න එකට පහසුවක් වෙලා තියෙනවා," ඇය පවසයි.

නමුත් දැඩිව පැවති සම්බන්ධතා පිළිබඳ අවධානය යොමු කරන විට, ඔවුන් සමග හොඳ සම්බන්ධතාවක් පැවැත්වුව ද ඔවුන් සමීප මිතුරන් නොවන බව ඇය පවසයි.

ආදරය සහ සබඳතා පිළිබඳ පුහුණුකරු කේට් මැන්ස්ෆීල්ඩ් පවසන්නේ, සාමාන්‍ය සම්බන්ධතාවලදී ජීවිතයේ බරපතළ ගැටලු අඩු බැවින් මිතුරන් බවට පත්වීම පහසු විය හැකි බව ය.

නමුත් ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය සබඳතා වඩාත් තීව්‍ර වන නිසා දැඩි හැඟීම් ඇති කළ හැකි බව ඇය පවසයි.

"එය සැබවින් ම රඳා පවතින්නේ එය අවසන් කළ ආකාරය සහ එය අවසන් කළේ කවුරුන් ද?, එය අන්‍යෝන්‍ය ගැටුමක් ද?, නැතිනම් එක් පුද්ගලයෙකු එහි අවසානය තීරණය කළා ද? කාලය කොච්චර වැය කළා ද? කියන ඒවා මත. මේ ඒ සඳහා වැය කරපු කාලයට වඩා වැඩි බලපෑමක් ඇති කරන දෙයක්," කේට් පවසයි.

2. ඔබ ඔවුන් ගැන සිතීම අවසන් කර තිබේ ද?

විශාල ම බාධාවක් වන්නේ, අදාළ පුද්ගලයාගෙන් ආදරය වෙන් කර ගැනීමට ඔබට හැකියාව තිබේ ද? යන්න යි.

"ඔබ වෙන්වීම සමග කටයුතු කළ යුත්තේ ප්‍රායෝගිකව මිස චිත්තවේගීව නොවෙයි," කේට් පවසයි.

ආදර සම්බන්ධතාවයෙන් බැහැරව ද ස්වාධීනව පවතින රුචිකත්වය හෝ උනන්දුව වැනි පොදු දේවල් තිබේ ද යන්න සලකා බලන ලෙස ඇය පවසයි. සම්බන්ධතාව හුදෙක් ආකර්ෂණය මත ගොඩනගාගෙන ඇත්නම් එය පවත්වා ගැනීම වඩා දුෂ්කර වනු ඇත.

ඔබට මිතුරන් ලෙස සිටීමට අවශ්‍ය වන්නේ ඇයි ද? යන්න සම්බන්ධයෙන් අවංක වීම ද වැදගත් වේ.

"ඔවුන් ඔවුන්ගේ අදහස වෙනස් කරනු ඇතැයි ඔබ තවමත් බලාපොරොත්තු වන්නේ නම් හෝ ඔබ ඔවුන්ගේ ආදර ජීවිතය පරීක්ෂා කරන්නේ නම්, ඒක මිත්‍රත්වය ලෙස වෙස්වළා ගෙන පැමිණි බැඳීමක්," කේට් පවසයි.

අවසානයේදී මිතුරන් ලෙස ඉදිරියට යාම සාර්ථක වෙන්නේ දෙදෙනා ම සම්බන්ධතාවයේ අවසානය සැබවින් ම පිළිගෙන සැඟවුණු අරමුණක් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ නොතිබෙන විට පමණක් බව ඇය වැඩිදුරටත් පවසයි.

3. කොපමණ කාලයක් ගත වී තිබේ ද?

පෙම්වතුන්ව සිට මිතුරන් ලෙස වහා ම වෙනස්වීම උපක්‍රමශීලී විය හැකි ය.

"මද විරාමයක් ගන්න එකත්, සිතා බැලීමට යම් කාලයක් ලබා ගන්න එකත් වැදගත්," ඔලීවියා පවසයි.

ප්‍රහසන නිළියක සහ කතුවරියක වන රෝසි විල්බි පවසන්නේ, ඇගේ හිටපු පෙම්වතියන් සමග සාර්ථක මිත්‍රත්වයක් පවත්වා ගැනීමට ඇයට හැකි වූ බව ය.

රෝසිගේ මව මිය ගිය වහා ම ඇය සහ ඇගේ හිටපු පෙම්වතිය ඩෝනා වෙන් වූයේ, නිවසේ ගින්නකින් ඔවුන්ගේ සියලු දේපළ ද අහිමි වී තිබියදී ය.

ඔවුන් සති තුනක පමණ කාලයක් කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොගත් බව ඇය පවසයි.

"අපි අතරෙ සමීප බැඳීමක් තිබුණා, ඒ වගේ ම අපිට එකිනෙකාව අවශ්‍ය වුණා, ඒ නිසා අපිට ඒ තත්ත්වය කළමනාකරණය කර ගන්න පුළුවන් වුණේ ඒ විදිහට වෙන්න ඇති," ඇය පවසයි.

දැන් අවුරුදු 25කට පසුව, "මට ඩෝනාව දැනෙන්නේ සහෝදරියක් වගෙයි," ඇය පවසයි.

4. ඔබේ අලුත් සහකරු/සහකාරිය ඊට එකඟ ද?

ඔබ මිතුරන් ලෙස සිටීමට තීරණය කරන්නේ නම්, අනෙක් පුද්ගලයා අලුත් සම්බන්ධතාවකට යොමුව ඇති විටෙක ඔබ දෙදෙනා ම කළ යුතු දේ ගැන විවෘතව කතා කළ යුතු බව කේට් පවසයි.

නව සහකරුවෙකු/සහකාරියක එම මිත්‍රත්වය පිළිබඳ අපහසුතාවට පත්වන්නේ නම් ඔබ ඔවුන්ගේ ගැටලු බැරෑරුම් ලෙස සැලකිය යුතු බව කේට් අවධාරණය කරයි.

"එය හැමවිට ම අවිශ්වාසය නිසා නොවෙයි, සමහර විට ඒක සාධාරණ කනස්සල්ලක් වෙන්නත් පුළුවන්," ඇය පවසයි

මිත්‍රත්වය වෙනස් කිරීමට ඔබට ඔබේ හිටපු පෙම්වතා/පෙම්වතිය සමග කතා කිරීමට අවශ්‍ය විය හැකි ය. මෙයින් අදහස් කරන්නේ, "අඩුවෙන් කතා කිරීම, කණ්ඩායම් වශයෙන් එකිනෙකා දැකීම හෝ එකට එක්වී සිදු කරන දේ පිළිබඳ වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කිරීම යි," ඇය පවසයි.

ඔලිවියා පවසන්නේ, කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන්ගේ හිටපු පෙම්වතියන් තර්ජනයන් ලෙස දැකීමේ සම්භාවිතාවක් පවතින බව ය.

නමුත් LGBT ප්‍රජාව තුළ, හිටපු පෙම්වතුන්/පෙම්වතියන් සමග මිතුරන් ලෙස ඇසුරු කිරීම වඩාත් සුලභ බව රෝසි පවසයි.

"එතැන තිබෙන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් ආචාර ධර්ම රටාවක්," ඇය පවසයි.

සම්බන්ධ නොවී සිටිය යුත්තේ කුමන අවස්ථාවකදී ද?

කේට් පවසන්නේ, ඇතැම් අවස්ථාවලදී මිත්‍රත්වය පවත්වාගෙන යා නොහැකි බව ය. සම්බන්ධතාව අපයෝජනයට ලක් වුවහොත්, චිත්තවේගීයව හෝ ශාරීරිකව, විශ්වාසය බිඳී ඇත්නම් හෝ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකුට තවමත් ආදර හැඟීම් තිබේ නම් මිත්‍රත්වයක් පවත්වාගෙන යාම දුෂ්කර ය.

"ඇතැම් අවස්ථාවලදී ඔබ දෙදෙනාට ම කළ හැකි වඩාත් කාරුණික දෙය වන්නේ, මේ පරිච්ඡේදය අවසන් වී ඇති බව පිළිගැනීම යි," ඇය පවසයි.

"මම සම්පූර්ණයෙන් ම සම්බන්ධතා කපා හැරියේ එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් මට වඩාත් ම බරපතළ හානියක් කළ අයත් සමග පමණ යි," ඔලීවියා පවසයි.

ඇය පවසන්නේ, ඇගේ මිතුරු මිතුරියන්ගෙන් බොහෝ දෙනෙකු හිටපු පෙම්වතුන්/පෙම්වතියන් සමග සම්බන්ධතා නොපවත්වන බව ය.

"මම හිතන්නේ අතීතය අතීතයට ම එකතු වෙන්න දෙන්න ඕනේ කියලා ආකල්පයක් තියෙනවා."