ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බලශක්ති අර්බුදයට මුහුණ දීමට මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙයි
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
මැද පෙරදිග කලාපයේ පවතින යුද්ධය හමුවේ ඉන්ධන වෙළෙඳපොළට එල්ල වන බාධා හේතුවෙන් පාරිභෝගිකයින්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත.
පවතින තත්ත්වය හමුවේ ගෝලීය ඉන්ධන වෙළෙඳපොළ තුළ ඉතිහාසයේ විශාලතම සැපයුම් බාධාව ඇතුළුව ප්‍රධාන බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානි විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් පැවසූ බව එම ඒජන්සිය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
"මැද පෙරදිග යුද්ධය ගෝලීය ඉන්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ විශාලතම සැපයුම් බාධාව ඇතුළුව ප්‍රධාන බලශක්ති අර්බුදයක් නිර්මාණය කරමින් තිබේ. කඩිනම් විසඳුමක් නොමැති විට, බලශක්ති වෙළඳපොළවල් සහ ආර්ථික කෙරෙහි බලපෑම් වඩ වඩාත් දරුණු වීමට නියමිත යි," ඔහු පැවසූ බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ අනුව, ඉදිරියේදී බරපතළ බලශක්ති අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ද සිදුවිය හැකි ය. එහෙයින්, බලශක්ති ඉල්ලුම අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.
බලශක්ති ඉල්ලුම අඩු කිරීම සඳහා ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග මොනවා ද?
පාරිභෝගිකයින් සඳහා පිරිවැය අඩු වීම, වෙළෙඳපොළ ආතතිය අඩු වීම සහ සාමාන්‍ය ඉන්ධන සැපයුම් ප්‍රවාහයන් නැවත ආරම්භ වීම සිදුවන තෙක් අත්‍යවශ්‍ය භාවිතයන් සඳහා ඉන්ධන සංරක්ෂණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සිය වාර්තාව මගින් යෝජනා ඉදිරිපත් කර තිබේ.
1. හැකි සෑම අවස්ථාවක ම නිවසේ සිට වැඩ කිරීම.
විශේෂයෙන් ඉන්ධන සහ විදුලි භාවිතය අවම කිරීම සඳහා කාර්යාල වෙත ගොස් සේවය කරනවා වෙනුවට මාර්ගගත ක්‍රමයට රැකියාවල නිරත විය හැකි සේවකයින් නිවසේ සිට රාජකාරි කිරීමට දිරිමත් කළ යුතු ය.
2. අධිවේගී මාර්ගයේ වේග සීමාවන් අවම වශයෙන් පැයට කිලෝමීටර 10කින් අඩු කිරීම.
අඩු වේගයෙන් ධාවනය කිරීමෙන් මෝටර් රථ, වෑන් සහ ට්‍රක් රථ සඳහා ඉන්ධන භාවිතය අඩු කර ගත හැකි ය.
3. පොදු ප්‍රවාහනය භාවිත කිරීම දිරිමත් කිරීම.
පෞද්ගලික මෝටර් රථවල ගමන් කිරීම වෙනුවට බස් රථ සහ දුම්රිය භාවිත කිරීමෙන් ඉන්ධන සඳහා පවතින ඉල්ලුම ක්ෂණිකව අඩු කළ හැකි ය.
4. විශාල නගරවල මාර්ග භාවිත කිරීමේදී පෞද්ගලික වාහන සඳහා විකල්ප යෝජනා කිරීම.
විශාල නගර ආශ්‍රිත මාර්ගවල වාහන භාවිත කිරීමේදී වාහන අංක අනුව ක්‍රමවේදයක් යොදා ගත හැකි අතර ඉන් වාහන තදබදය අවම කිරීම සහ ඉන්ධන අධික ලෙස වැය වීම අඩු කර ගත හැකි ය.
5. මෝටර් රථයක එකතු වී ගමන් කිරීම සහ කාර්යක්ෂම රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කිරීම.
වැඩි මෝටර් රථ සංඛ්‍යාවක් භාවිතයට ගැනීම වෙනුවට ආරක්ෂා සහිතව කණ්ඩායමකට එක් රථයක් සිය ගමනාගමන කටයුතු සඳහා යොදා ගැනීම සහ පරිසර හිතකාමී රිය පැදවීම හරහා ද ඉන්ධන පරිභෝජනය අවම කර ගත හැකි ය.
6. වාණිජ භාණ්ඩ බෙදා හැරීමේදී කාර්යක්ෂමව රිය ධාවනය කිරීම
වඩා හොඳ රිය පැදවීමේ පිළිවෙත්, වාහන නඩත්තුව සහ භාණ්ඩ ප්‍රවාහනයේදී ඊට අදාළ බර ප්‍රශස්තිකරණය මගින් ඩීසල් භාවිතය අඩු කළ හැකි ය.
7. ප්‍රවාහන කටයුතු සඳහා LP ගෑස් භාවිතයට නොගැනීම.
ද්වි-ඉන්ධන සහ පරිවර්තනය කරන ලද වාහන සඳහා භාවිත කරන LP ගෑස් වෙනුවට එම වාහන පෙට්‍රල් ඉන්ධන වෙත මාරු කිරීමෙන් ආහාර පිසීම සහ අනෙකුත් අවශ්‍යතා සඳහා LP ගෑස් සංරක්ෂණය කළ හැකි ය.
8. ගුවන් ගමන් අවම කරන්න.
ව්‍යාපාරික කටයුතු සඳහා සිදුකරන ගුවන් ගමන් අඩු කිරීමෙන් ජෙට් ඉන්ධන වෙළෙඳපොළ මතට එල්ල වන පීඩනය අවම කිරීමට කටයුතු කළ හැකි ය.
9. හැකි සෑම විට ම ඉවුම් පිහුම් සඳහා වෙනත් ක්‍රමවේද භාවිතයට යොදා ගැනීම.
ඉවුම් පිහුම් කටයුතුවලදී විදුලි සහ LP ගෑස් මත සිදුවන යැපීම අඩු කළ හැකි ක්‍රමවේද භාවිතයට යොදා ගත යුතු ය.
10. ඛනිජ රසායනික අමුද්‍රව්‍ය සමග නම්‍යශීලීභාවය භාවිත කිරීම සහ කෙටි කාලීන කාර්යක්ෂමතාව සහ නඩත්තු පියවර ක්‍රියාත්මක කිරීම.
කර්මාන්තයට අත්‍යවශ්‍ය භාවිතයන් සඳහා LP ගෑස් නිදහස් කිරීමට සහ ඉක්මන් මෙහෙයුම් වැඩිදියුණු කිරීම් හරහා තෙල් පරිභෝජනය අඩු කිරීමට උපකාරී වේ.
මෙරට රාජ්‍ය ආයතන සඳහා බලශක්ති අර්බුදය කළමනාකරණය කිරිමේ යෝජනාවලියක්
ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබීය.
01. තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද
නිලධාරීන් රාජකාරී සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විට ම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන සේවා භාවිතා කළ යුතු බවත්, ක්ෂේත්‍ර රාජකාරී සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගත හැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු බවත් දැනුම් දී තිබේ.
02. රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම
රැස්වීම් හා සාකච්ඡා සඳහා දුර බැහැර සිට නිලධාරින් කැඳවීම සීමා කළ යුතු ය. ඒ වෙනුවට Zoom, Google Meet, MS Teams හෝ වට්ස්ඇප් වැනි තාක්ෂණික ක්‍රම අනුගමනය කළ යුතු වේ.
සියලු ලිපි ලේඛන E-mail හෝ Whattsapp කිරීම ද ඊට ඇතුළත් වේ.
03. ඉන්ධන තොග පවත්වාගෙන යාම
සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන තොග හිඟයකින් තොරව ලබා දීමට අතිරේක ඉන්ධන සංචිත පවත්වාගෙන යා යුතු බව සහ ඊට අවශ්‍ය ධාරිතාව නිසි ලෙස සකස් කිරීම.
රාජ්‍ය අංශය සතු වාහන 92,000කින් දිනකට එක් ඉන්ධන ලීටරය බැගින් ඉතුරු කර ගැනීම හරහා දෛනිකව ඉන්ධන ලීටර් 92,000ක් ඉතුරු කර ගත හැකි බවත්, මාසිකව එය ඉන්ධන ලීටර් මිලියන 02ක් බවත් වාර්ෂිකව එම ඉතුරු කර ගැනීම ඉන්ධන ලීටර් මිලියන 24ක් බවත් පෙන්වා දෙන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ රියැදුරන් එක්ව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කර ඇත.
04. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශ
විදුලිය සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා ද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන් ය.
විශේෂයෙන් ස්වභාවික ආලෝකය, හැකි සෑම විටක ම භාවිත කිරීමට සහ වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිත කිරීමට යොමුවන ලෙස එම මාර්ගෝපදේශවල සඳහන් වේ.
ආයතනවල විදුලි සෝපාන භාවිතය හැකි තාක් අවම කර පියගැටපෙළ භාවිත කිරීම ප්‍රවර්ධනයට මෙන් ම පළාත් පාලන ආයතන මගින් පාලනය වන විදුලි ලාම්පු අනවශ්‍ය අවස්ථාවලදී නිවා දැමීමට පියවර ගන්නා ලෙස ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.
ඊට අමතරව, අධිආරක්ෂක හා ආරක්ෂිත කලාපවල හැර අනෙකුත් මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දැමීමට මෙන් ම දිවා කාලය තුළදී ආයතනවල ඇති රූපවාහිනී යන්ත්‍ර අක්‍රීය කිරීම ද එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් ය.
05. රාජ්‍ය ආයතනවල මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සඳහා උපදෙස්
රාජ්‍ය ආයතනවල මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සිදුකිරීම් සම්බන්ධයෙන් ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබේ.
ආයතනයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් කාර්ය මණ්ඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද හරහා සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.
නියමිත රාජකාරී වේලාවෙන් පසුව සහ සතිඅන්ත දිනවල අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර කාර්යාලය වසා තැබීමට වගබලා ගත යුතු බවට ද ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
සියලු ම රාජ්‍ය නිලධාරීන් මෙම බාහිර කම්පනයේ බලපෑම හමුවේදී මහජනතාවට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු අතර ජාතික බලශක්ති සංරක්ෂණය සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් උපරිම සහය ලබාදීමට වගබලා ගත යුතු බව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන් වේ.