මහින්දට සහ ගෝඨාභයට කැනඩාව සම්බාධක පැනවුයේ ඇයි?

කැනඩා රජය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව සම්බාධක පනවා තිබේ.

ඒ, එරට විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි සංශෝධනය කරමින්ය.

මේ යටතේ අදාළ පුද්ගලයින්ට ඉලක්කගත සම්බාධක පනවන බව කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි සඳහන් කොට තිබේ.

ඇය පෙන්වා දෙන්නේ පසුගිය දශක හතර තුළ, සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය සහ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවය.

“ශ්‍රී ලංකාවේ සාමය, සංහිඳියාව, යුක්තිය සහ වගවීම සාක්ෂාත් කර ගැනීම සඳහා කැනඩාව ස්ථිර ලෙස සහයෝගය දක්වනු ලබයි. ජාත්‍යන්තර නීතිය කඩකරන්නන්ට එරෙහිව ජාත්‍යන්තර දණ්ඩමුක්තිය අවසන් කිරීමට කැනඩාව අද තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. දේශීය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතුලුව වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය තුළින් සාමය, සියලු දෙනා ඇතුළත්, සමෘද්ධිය සඳහා ගමන් කිරීමේ ශ්‍රී ලංකාවේ මාවතට සහාය වීමට කැනඩාව සූදානමින් සිටියි.” කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරිය වැඩිදුරටත් මෙහිදී පවසයි.

ඒ අනුව 2023 ජනවාරි 6 වන දින සිට එම විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි බලාත්මක කර ඇත.

මානව හිමිකම් කඩකිරීම් ඇතුළත් ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාධාරණ හේතු ඇතැයි සළකන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකුගේ නම් ලැයිස්තුවක් රෙගුලාසිවලට ඇතුළත් වේ.

කැනඩා රජය විසින් මීට පෙර අදාළ සම්බාධක පනවා තිබුණේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට (නේවි සම්පත්) එරෙහිවය.

මෙම සම්බාධක මොනවද?

කැනඩාවේ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි මගින් ලැයිස්තුගත පුද්ගලයන්ට ගනුදෙනු තහනම් සහ වත්කම් තහනම් පැනවීමට ක්‍රියා කෙරෙනු ඇත.

මේ යටතේ කැනඩාවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සහ කැනඩාවෙන් පිටත ඕනෑම කැනේඩියානුවෙකුට ලැයිස්තුගත පුද්ගලයෙකු විසින් සෘජුව හෝ වක්‍රව - අයිති - හෝ රඳවාගෙන සිටින හෝ පාලනය කරනු ලබන ඕනෑම දේපලක ගනුදෙනු කිරීම තහනම් කර ඇත.

අදාළ ඕනෑම ගනුදෙනුවකට සම්බන්ධ වීම හෝ පහසුකම් සැලසීම, කිසියම් මූල්‍ය හෝ අදාළ සේවාවන් සැපයීම ද තහනම් කර තිබේ.

ලැයිස්තුගත පුද්ගලයකුට හෝ ලැයිස්තුගත පුද්ගලයකු වෙනුවෙන් ක්‍රියා කරන තැනැත්තකුට ඕනෑම තැනක පිහිටි ඕනෑම භාණ්ඩයක් ලබා දීමට සැලැස්වීම; හෝ ලැයිස්තුගත පුද්ගලයකුට හෝ ප්‍රයෝජනය සඳහා කිසියම් මූල්‍ය හෝ අදාළ සේවාවන් සැපයීමද තහනම් වෙයි.

රෙගුලාසිවල ලේඛනයේ ලැයිස්තුගත කර ඇති පුද්ගලයින් කැනඩා ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට පිළිනොගන්නා පුද්ගලයින් බවට පත්වනු ඇත.

කැනඩාව සම්බාධක පැනවුයේ ඇයි?

කැනඩා විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග පනත යටතේ මෙම සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාර වශයෙන්ය.

කැනඩා රජය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී (1983-2009) මානව හිමිකම් කඩවීම් සිදු වූ බවය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් සඳහා දණ්ඩමුක්තිය අඛණ්ඩව පැවතීම මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම, පීඩාවට පත් ජනගහණයේ යුක්තිය පිළිබඳ ප්‍රගතිය සහ සාමය සහ සංහිඳියාව සඳහා වූ අපේක්ෂාවන් අනතුරේ හෙළන බවද කැනඩා රජය අවධාරණය කළේය.

පශ්චාත් ගැටුම් නිරාකරණය, වගවීම සහ සංහිඳියාව උදෙසා ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ සීමිත ක්‍රියාමාර්ග පමණක් බවද කැනඩා රජය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් යුද අපරාධවලට සම්බන්ධ වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් රැසකට එරෙහිව තිබූ චෝදනා අත්තනෝමතික ලෙස ඉවත් කර හෝ දඬුවම් අවලංගු කර ඇති බව කැනඩා රජය පෙන්වා දී තිබේ.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සහ කැනඩාව ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව මූලික මිනිස් අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කිරීම සහ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා නිරන්තරයෙන් පෙනී සිටින බවද කැනඩා රජය මෙහිදී අවධාරණය කොට තිබේ.