යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක ඝාතනය: දියණිය සහ බෑණනුවන් රක්ෂිත බන්ධනාගාරයට

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ දියණිය සහ බෑණනුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනයේ විශ්වවිද්‍යාලයේ, සිද්ධ වෛද්‍ය පීඨයේ, ආචාර්යවරියක වූ 54 හැවිරිදි ජේෂ්ඨ්‍ය කථිකාචාර්ය දයාලනී දීලීපන් ය.

සහෝදරියගේ සැමියා සැක බවට පොලිස් පැමිණිල්ලක්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය නිවසේ නොමැති බව ඇයගේ පුත්‍රයාගෙන් මාර්තු 19 වැනිදා ලැබුණු පැමිණිල්ලක් මත යාපනය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි.

රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචර්යවරයෙකු වන මිය ගිය කාන්තාවගේ පුතු විසින් මවගේ අතුරුදහන් වීමට, සිය සහෝදරියගේ සැමියා සැක බවට පොලිසියට පැමිණිළි කර ඇත.

දැනට කර ඇති විමර්ශන අනුව ආචාර්යවරිය මාර්තු 18 වැනිදා අලුයම් කාලයේ ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.

'ගෙල සිර කර ඝාතනය කරලා'

කථිකාචාර්යවරියගේ 19 හැවිරිදි දියණිය සිය ස්වාමි පුරුෂයා සමග ඇති කර ගත් පවුල් ආරවුලකින් අනතුරුව කථිකාචාර්යවරිය පදිංචි සිටි නිවසට පැමිණ ඇති අතර ඉන් දින කිහිපයකට පසුව නැවත සිය සැමියා සමග ඇය සමගි වී තිබේ.

කෙසේ වෙතත් දියණිය සහ ඇයගේ ස්වාමි පුරුෂයා නැවත එකට ජීවත්වීමට කැමැත්ත දැක්වූව ද, ආචාර්යවරිය ඊට විරුද්ධව වී ඇති බව දැනට කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මෙවන් පසුබිමක දියණියගේ සැමියා රාත්‍රී කාලයේ නිවසට පැමිණ ආචාර්යවරිය සමග ආරවුලක් ඇති කරගෙන ඇයගේ ගෙල සිරකර මරා දමා ඇති බවට මේ දක්වා කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත පැවසීය.

මළ සිරුර මන්නාරම සුළං බලාගාරය ආසන්නයේ

දයාලනී දිලීපන් යන අය ඝාතනය කිරීමෙන් අනතුරුව ඇගේ මළ සිරුර ඇයට අයත් මෝටර් රථයේ දමාගෙන මන්නාරම සුළං බලාගාරයේ 04 වෙනි කුළුණ අසල ඇති කැළෑ ප්‍රදේශයක දමා ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඒ බව පවසා ඇති අතර ඉන් පසුව මෘත ශරීරය සොයා ගෙන ඇත.

ඉන් පසුව ත්‍රිකුණාමලයේ, නිලාවේලි ප්‍රදේශයට ගොස් ඇති සැකකරුවන් එහි කුලී කාමරයක රැඳී සිටිය දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, විමර්ශන තවමත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරු සහ සැකකාරිය රක්ෂිත බන්ධනාගාරයට

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් ආචාර්යවරියගේ දියණිය සහ ඇයගේ සැමියා රැඳවුම් නියෝග මත රඳවා තබා ඇති අතර (මාර්තු 22 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව යාපනය පොලිසිය සඳහන් කළේය.

එමෙන් ම, මෙම සිදුවීම සම්බන්ධව පළව ඇති අතර මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සැකකාර යුවළ පලා යන අතරතුර පරන්තන් ප්‍රදේශයේ ATM යන්ත්‍රයකින් මුදල් ලබාගෙන ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇති බව යි.

පළා යන අතරතුර ඉන්ධන ලබාගැනීමට භාවිතා කළ QR කේතය සහ CCTV දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසියට සමත් වී ඇති බව ද එම වාර්තාවල දැක්වේ.

ඝාතනය ලක් වූ දයාලනී දිලීපන් යන අයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු මාර්තු 22 වෙනිදා ගොම්බයිමනල් හින්දු සුසාන භූමියේදී සිදුකර ඇති අතර, සිය මවගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට සැකකාර දියණිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අවසර ලැබීම මත, පොලිස් ආරක්ෂාව යටතේ ඇය අවසන් ගෞරව දැක්වීමට සුසාන භූමියට පැමිණි බව මාධ්‍ය වාර්තා කර තිබේ.

සිද්ධ වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව සිය මූලික උපාධිය හා දර්ශනපති උපාධිය යාපනය විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇති ආචාර්ය දයාලනී දිලීපන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත.