ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
TATA: සිය පෙළපත් නාමය ලෝකය ම දන්නා සන්නාමයක් බවට පත් කළ රතන් ටාටා කවුද?
- Author, ඇලෙක්ස් බෝයිඩ්
- Role, බීබීසී ප්‍රවෘත්ති
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඉන්දීය ධන කුවේරයෙකු වන රතන් ටාටා මිය යන විට 86 හැවිරිදි වියේ පසුවූ බව ඔහු දශක දෙකකට වැඩි කාලයක් නායකත්වය දුන් ටාටා සමූහ ව්‍යාපාරය පවසයි.
ටාටා යනු ජාත්‍යන්තරව පිළිගත් ඉන්දියානු ව්‍යාපාරික නායකයන්ගෙන් කෙනෙකි.
ටාටා ගෲප් යනු ඉන්දියාවේ විශාලතම සමාගම්වලින් එකක් වන අතර, වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 (පවුම් බිලියන 76.5) ඉක්මවයි.
ටාටාගේ මරණය පිළිබඳ නිවේදනය නිකුත් කරමින් ටාටා සන්ස්හි වත්මන් සභාපතිවරයා ඔහුව විස්තර කළේ, "සැබවින් ම අසාමාන්‍ය නායකයෙකු" ලෙස යි.
“සමස්ත ටාටා පවුල වෙනුවෙන්, මම ඔහුගේ ආදරණීයයන් වෙත අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි'' යැයි නටරාජන් චන්ද්‍රසේකරන් පැවසීය.
ඔහුගේ උරුමය අපව දිරිමත් කරන අතර ඔහු දැඩි ලෙස උද්‍යෝගයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට අපි උත්සහ කරනවා."
ඔහු ටාටා සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළදී ටාටා සමූහ ව්‍යාපාරය ඉහළ පෙළේ ප්‍රාග්ධන කිහිපයක් අත්පත් කර ගත්තේය. ඒ අතරට ඇන්ග්ලෝ-ඩච් වානේ නිෂ්පාදනය කරන කෝරස් සමාගම, එක්සත් රාජධානිය පදනම් කරගත් මෝටර් රථ සන්නාමයන් වන ජගුවාර්, ලෑන්ඩ් රෝවර් සහ ලොව දෙවන විශාලතම තේ සමාගම වන ටෙට්ලි ද ඇතුළත් වේ.
එක්සත් රාජධානියේ ව්‍යාපාර ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් රතන් ටාටා අගයමින් කියා සිටියේ, ටාටා යනු "බ්‍රිතාන්‍ය කර්මාන්තය හැඩගැස්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ" "ව්‍යාපාරික ලෝකයේ පතාක යෝධයෙකු" බව ය.
2011 දී ඉකොනොමිස්ට් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද හැඳින්වීමකදී ටාටා "පාතාක යෝධයෙකු" ලෙස හැඳින්වූ අතර, පවුලේ ව්‍යාපාරය "ගෝලීය ශක්තියක්" බවට පරිවර්තනය කිරීමේ ගෞරවය ඔහුට හිමි බව පෙන්වා දුන්නේ ය.
"පවුලේ පෙළපත් නාමය දරන සමාගමෙන් 1% කටත් වඩා අඩු කොටස් ප්‍රමාණයක් ඔහුට හිමිව තිබුණා. එසේ වුවත් ඔහු පතාක යෝධයෙක්: ඉන්දියාවේ බලවත් ම ව්‍යාපාරිකයා සහ ලෝකයේ වඩාත් ම බලගතු ව්‍යාපාරිකයෙක්," සඟරාව පවසයි.
2012 දී ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස ඔහු විශ්‍රාම ගත් අතර සමූහයේ හිමිකාරීත්වය දරන සමාගමක් වන ටාටා සන්ස්හි ගෞරවණීය සභාපති තනතුරට පත් විය.
ඔහු "දූරදර්ශී ව්‍යාපාරික නායකයෙකු, දයානුකම්පිත ආත්මයක් සහ අසාමාන්‍ය මනුෂ්‍යයෙකු" ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ටාටා වෙත ප්‍රශංසා කළේ ය.
ට්විටර් ලෙස පෙර හැඳින්වූ X සමාජ මාධ්‍ය ඔස්සේ අගයමින්, ටාටා සමග "ගණනය කළ නොහැකි තරම් වන සබඳතා" ගැන විස්තර කළ මෝදි ඔහුගේ මරණයෙන් තමා "අතිශයින් ම වේදනාවට පත් වූ" බව පැවසීය.
ටාටා 1937 දී සම්ප්‍රදායික පා(ර්)සි පවුලක උපත ලැබීය. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය සහ ව්‍යුහාත්මක ඉංජිනේරු ශිල්පය හැදෑරීය.
1962 දී ඔහු ටාටා ඉන්ඩස්ට්‍රීස් - සමූහයේ ප්‍රවර්ධක සමාගමක සහායකයෙකු ලෙස සම්බන්ධ වූ අතර ජම්ෂෙඩ්පූර්හි පිහිටි සමාගමට අයත් කම්හලක මාස හයක පුහුණු කාලයක් ගත කළේ ය.
එතැන් සිට ඔහු ටාටා Iron and Steel Company (දැන් Tata Steel), Tata Consultancy Services (TCS) සහ National Radio and Electronics (Nelco) හි සේවය කිරීමට එක් විය.
1991 දී අඩ සියවසකට වැඩි කාලයක් සමාගමට නායකත්වය දුන් ජේ.ආර්.ඩී. ටාටා ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස රතන් ටාටා පත් කළේ ය. "ඔහු [ජේ.ආර්.ඩී. ටාටා] මගේ ශ්‍රේෂ්ඨතම උපදේශකයා වුණා... ඔහු මට පියෙකු සහ සහෝදරයෙකු හා සමාන විය - ඒ ගැන ප්‍රමාණවත් ලෙස කීමට නොහැකි යි," යනුවෙන් සම්මුඛ සාකච්ජාවකදී රතන් ටාටා පැවසීය.
2008 දී ඉන්දීය රජය ඔහුට එරටේ දෙවන ඉහළ ම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් පුදනු ලැබී ය.
'ද ස්ටෝරි ඔෆ් ටාටා' නමැති ග්‍රන්ථයේ කතුවරයා වන පීටර් කේසි, ඔහු ගැන විස්තර කළේ, ටාටා "අතිශය සන්සුන්" සහ "දරුණු විනයක්" සහිත "නිහතමානී, සංයමයෙන් යුතු හා ලැජ්ජාශීලී මිනිසෙකු" ලෙස ය.
කළමනාකරණ ගැටලුවක් ඇතිවීමත් සමග ටාටා සන්ස් සභාපතිවරයා ලෙස සිය අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ සයිරස් මිස්ත්‍රි එම තනතුරෙන් නෙරපා හැරීම නිසා 2016 දී ඔහු දුර්ලභ අප්‍රසන්න මෙන් ම ආන්දෝලනයකට ලක්වූ පුද්ගලයෙක් විය. මිස්ත්‍රි 2022 දී රිය අනතුරකින් මිය ගියේ ය.
මේ ව්‍යාපාරික දැවැන්තයා තුළ සැහැල්ලු ජීවිතයක් ද විය. වේගවත් මෝටර් රථ සහ ගුවන් යානා සඳහා වූ ඔහුගේ කැමැත්ත ප්‍රකට කරුණකි. ටාටා සමූහයේ වෙබ් අඩවිය මෙය විස්තර කරන්නේ, ඔහුගේ "නිම නොවන ආශාවන්" ලෙසිනි.
ටාටා ස්කූබා කිමිදුම් ලෝලියෙකු ද වූ අතර, වියපත් වීමත් සමග "ඔහුගේ කන්වලට තවදුරටත් පීඩනය දරාගත නොහැකි වූ බැවින්" ඔහුගේ එම විනෝදාංශය නතර කිරීමට සිදුවිය.
ඔහු සුනඛයින්ට කැමැත්තක් දැක්වූ අතර දශක ගණනාවක් තිස්සේ තමන් රැකබලා ගත් බොහෝ සුරතල් සතුන් ගැන ආදරයෙන් සිහිපත් කළේ ය.
“සුරතල් සතුන් ලෙස සුනඛයින්ට ඇති මගේ ආදරය සැමවිට ම ශක්තිමත් එකක්, එය මා ජීවත් වන තාක් කල් පවතීවි' යැයි 2021 වසරේ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ය.
"මගේ සුරතල් සතෙකු මිය යන සෑම අවස්ථාවක ම විස්තර කළ නොහැකි දුකක්, එම ස්වභාවයේ තවත් වෙන්ව යාමක් තිබිය නොහැකි බව මම තීරණය කළා. නමුත්, අවුරුදු දෙක තුනක් ගත වන තැන, ඔවුන් නොමැතිව මගේ නිවසේ ජීවත් වීමට නොහැකි තරම් හිස් හා නිස්කලංක බවක් ඇති වනවා. කාලයක් ගත වන විට අවසානයේ සිටි සුනඛයා මෙන් මගේ සෙනෙහස සහ අවධානයට ලක්වන තවත් සුනඛයෙක් සිටිනවා," ඔහු පැවසීය.
ඔහුගේ සරල බව නිසා ඔහු බොහෝ විට පැසසුමට ලක් විය. 2022 දී, ඔහු නැනෝ මෝටර් රථයක ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු විය. ලෝකයේ මිල අඩු ම මෝටර් රථවලින් එකක් වන මෙය ටාටාගේ අසාර්ථක සිහිනයක් ලෙස සැලකේ.
"නැනෝ ලොව මිල අඩු ම මෝටර් රථය ලෙස හැඳින්වීම විශාල වරදක්. මිනිසුන් ලෝකයේ මිල අඩු ම මෝටර් රථය පදවනවා දැකීමට කැමති නැහැ!" ටාටා පසුව පැවසුවේ ය.
2008 නොවැම්බර් 26 වන දින මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේදී ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව පරීක්‍ෂාවට ලක්විය. මුම්බායි ප්‍රහාරයට ලක් වූ සුඛෝපභෝගී හෝටල් දෙකෙන් එකක් ටාටාගේ මාර්කී ටජ් මහල් පැලස් වූ අතර දුම්රිය ස්ථානයක්, රෝහලක්, යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් ඉලක්ක කිහිපයක් ද ඒ අතර විය.
පැය 60ක මෙහෙයුමේදී මියගිය පුද්ගලයන් 166 දෙනාගෙන් තිස්තුන් දෙනෙක් ටාජ් පැලස් හෝටලයේ සිටි අය වුහ. ඊට හෝටල් සේවකයින් 11 දෙනෙකු ඇතුළත් වූ අතර, එය හෝටලයේ සිදුවූ මුළු ජීවිත හානිවලින් තුනෙන් එකක් විය. මියගිය හෝ තුවාල ලැබූ සේවකයන්ගේ පවුල් රැකබලාගැනීමට ටාටා ප්‍රතිඥා දුන් අතර, මියගිය අයගේ ඥාතීන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා උපයා ගත හැකි වැටුප් ගෙවන ලදී. මාස 21 ක් ඇතුළත හානියට පත් හෝටලය යථා තත්ත්වයට පත් කිරීමට ඔහු ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් වැය කළේ ය.
ටාටා නිහතමානී හා පරිවර්තනයක් කළ හැකි ව්‍යාපාරිකයෙකි. 1989 දී පූනේහි ඔහුගේ සමාගමේ කර්මාන්ත ශාලාවක මෙහෙයුම් අඩාළ කළ වැඩවර්ජනයක් අවසන් කිරීමට පොලිසිය කැඳවූ පසු, ටාටා මාධ්‍යවේදීන්ට මෙසේ පැවසීය: "සමහර විට අපි අපේ සේවකයන්ට සුළුවෙන් සැලකුවා වන්නට පුළුවන්. අපි ඔවුන් වෙනුවෙන් කළ හැකි සියල්ල කරන බව පැවසුවත්, ඇතැම් විට එය නොකළා වන්නට පුළුවන්."
2009 දී, ටාටා පාසල් ආදි ශිෂ්‍ය උත්සවයකදී තම රට පිළිබඳ ඔහුගේ සිහිනය ගැන කතා කළේ ය. "සෑම ඉන්දියානුවෙකුට ම කුසලතා මත බැබළීමට සමාන අවස්ථාවක් තිබෙනවා".
"අපේ වැනි රටක, ඔබ උත්සහ කළ යුත්තේ, ආදර්ශවත් නායකත්වයක් දීම මිස ඔබේ ධනය හා ප්‍රසිද්ධිය පෙන්වීම නොවේ."