ආසියානු කුසලානය: පළමු තරගයෙන් පකිස්ථානයට වාර්තාගත ජයක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් නේපාලය ලකුණු 238 කින් පරාජය කිරීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම අද (අගෝස්තු මස 30 වැනිදා) සමත් විය.

කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 342ක් රැස් කිරීමට සමත් විය.

පකිස්ථානයට අභියෝගයක් වූ නේපාලය

ලොව අංක එකේ එක්දින කණ්ඩායමේ පිතිකරුවන්ට අභියෝගයක් ගෙන ඒමට නේපාල පන්දු යවන්නන් තරගයේ ආරම්භයේ සිට සමත් විය.

පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ ෆාකාර් සාමාන් (14) සහ ඉමාම් උල් හක් (05) කට දවා ගැනීමට නේපාල පන්දු යවන්නන් සමත් විය. ඒ වන විට පකිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 25ක් ලෙසයි.

නේපාල පන්දු යවන්නන් එල්ල කළ අභියෝගය හමුවේ නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් කඩා වැටුණු පකිස්ථාන ඉනිම යළි ගොඩනැගීමට කටයුතු කළේ පන්දු 109 කදී ලකුණු 86ක් තෙවන කඩුල්ල සඳහා එක් කරමිනි.

කෙසේවෙතත් තරගයේ 23 වන පන්දු වාරයේදී ලකුණු 44ක් රැස් කර ගෙන සිටි මොහොමඩ් රිස්වාන් දුවද්දී දවා ගැනීමට නේපාල කණ්ඩායම සමත් විය.

රිස්වාන්ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ සල්මාන් ආගා ලකුණු 05 කට දැවී යන විට පකිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 27.5 කදී කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලෙසයි.

නේපාලය අතින් ගිලිහුණු වාසනාව

පකිස්ථාන ඉනිමේ 28 වැනි පන්දු වාරයේදී ලකුණු 55ක් ලබාගෙන සිටියදී නායක බාබර් අසාම් විසින් පෙරලා ලබා දුන් උඩ පන්දුවක් පන්දු යවමින් සිටි චෙට්ට්‍රි අතින් ගිලිහි ගියේ තරගයේ සමස්ත තීරණයට බලපෑමක් එල්ල කරමිනි.

බාබර් - ඉෆ්තිකාර් සුසංයෝගය

තරගයේ 30 වැනි පන්දු වාරය දක්වා නේපාල පන්දු යවන්නන්ගේ අණසකට යටත්ව තිබු පකිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 139 කට කඩුලු 04ක් ලෙසයි.

කඩා වැටුණු පකිස්ථාන ඉනිම නැවත තමන් යටතට ගැනීමට නායක බාබර් අසාම් සහ ඉෆ්තිකාර් එහෙම්ඩ් සමත් විය.

ඔවුන් දෙදෙනා විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 134 කදී ලකුණු 214ක් රැස් කිරීමට සමත් විය.

එම සම්බන්ධතාවය ආසියානු කුසලාන තරගාවලියක පස්වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

බාබර් ආසාම් සිය එක්දින තරග දිවියේ 19 වන ශතකය වාර්තා කරමින් පන්දු 131 කදී ලකුණු 151ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ එම ඉනිමට හතරේ පහරවල් 14ක් සහ හයේ පහරවල් 4ක් ඇතුළත් විය.

ඉෆ්තිකාර් එහෙම්ඩ් පන්දු 67 කදී සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ එම ශතකය ආසියානු කුසලාන තරගාවලියක වාර්තා වූ පස්වන වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ඒ අනුව පකිස්ථානය සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 342ක් රැස් කිරීමට සමත් විය.

වේග පන්දු හමුවේ අසරණවූ නේපාලය

ලකුණු 343 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමේ පිතිකරුවන්ට සිය ඉනිම ආරම්භයේ සිට පකිස්ථාන පන්දු යවන්නන් ගෙන් එල්ල වුයේ දැඩි පීඩනයකි.

නේපාල ඉනිමේ පළමු පන්දු වාරයේදීම පිට පිට යවන ලද පන්දු දෙකකදී කඩුලු දෙකක් දවා ගැනීමට පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහින් අෆ්රිඩි සමත් විය.

සොම්පාල් කාමී ලකුණු 28ක් සහ ආරිෆ් ෂෙයික් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූ අතර අනෙක් කිසිදු නේපාල පිතිකරුවෙකුට ලකුණු අතරට ඒමට පකිස්ථාන පන්දු යවන්නන් විසින් ඉඩ නොදෙන ලදී.

පන්දු වාර 23.4ක් අවසානයේදී සියලු දෙනා දැවී නේපාල කණ්ඩායම රැස් කළේ ලකුණු 104 ක් පමණි. ඒ අනුව පකිස්ථානය ලකුණු 238 කින් තරගය ජය ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ෂඩාබ් ඛාන් ලකුණු 27 කට කඩුලු 04 ක් සහ ෂහින් අෆ්රිඩි ලකුණු 27 කට කඩුලු දෙකක් දවා ගන්නා ලදී.