ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා භාර දෙයි
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අද (මාර්තු 27) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම චෝදනා භාර දීම සිදු විය.
මීට පෙර අධිකරණය නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා, විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කළේ ය.
ඉන් අනතුරුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 6 වන දා කැඳවන ලෙසත් අධිකරණය නියම කළේ ය.
චෝදනාව කුමක් ද?
2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සම්බන්ධයෙන් පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පෞද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8,859,708.00ක පාඩුවක් සිදුකිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබේ.
කෙසේ වෙතත්, කුමාර ජයකොඩි මීට පෙර මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
ඔහු පවසන පරිදි, ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂයක් එම චෝදනාවට හේතු වී තිබේ.
"ඕන ම මැනේජර් කෙනෙකුට වගකීමක් තියෙනව නෙ. වැඩ කරනකොට අතපසුවීම් හරි මිස්ටේක්ස් හරි වෙන්න. මට දුන්න මේකෙ මම කොක්කක් ගහල යවපු එක විතර යි තියෙන්නෙ. සබ්ජෙක්ට් එක කරන කෙනා ඒක බලපු නැති එක හරි උවමනාවෙන් හරි එතන මේව වුණා. ඒකෙ මට වගකීමක් නැහැ කියන්නෙ නෑ," අමාත්‍ය කුමාර ජයකොඩි රූපවාහිනී වැඩසටහනකදී තමාට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
විශ්වාසභංගයක්
මේ අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පසුගිය මාර්තු 19 වන දා කතානායකවරයා වෙත භාර දුන්නේ ය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා
මන්ත්‍රීවරයා පැවසූ පරිදි විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ, චෝදනා දෙකක් මූලික කරගෙන ය.
ඉන් එක් චෝදනාවක් වනුයේ, ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව නඩුවක් පවරා තිබීම ය.
දෙවැන්න, ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම ය.
ඉහත චෝදනා හේතුවෙන් කුමාර ජයකොඩි අමාත්‍ය ධූරයක් හෙබවීමට සුදුසු නොවන බව විපක්ෂයේ මතය යි.