ඉන්ධන අර්බුදය: රාජ්‍ය සේවා 'work from home' වෙයි ද? අත්‍යවශ්‍ය සේවා සඳහා වෙන ම ඉන්ධන කෝටාවක්?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධමය තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයට සුදානම් වීමක් ලෙසින් මෙරට පැවති පැරණි QR ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සමග ම සෑම පාර්ශවයකින් ම පාහේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් එය වැඩි කරන ලෙස ඉල්ලා විරෝධතා මතුව එමින් පවතී.

සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය, කෘෂි කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන සැපයීම සම්බන්ධව ද ගැටලු මතුවී ඇති අතර, පවතින අර්බුදයට විසඳුමක් ලෙස නිවසේ සිට වැඩ කිරීම (work from home) කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

විකල්ප ක්‍රම ගැන සාකච්ඡා

මැදපෙරදිග මතුව ඇති තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව මාර්තු 15 වන දා ජනාධිපති අනුර කුමාර දිසානයක ඇතුළු බලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකදී විකල්ප ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.

මතුව ඇති තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත්, ඊට මුහුණ දීමේදී QR කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරිවල නිරත වීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බව මෙන් ම මතු වන නව තත්ත්වයන් පිළිබඳව නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඊට අමතරව, මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ යාවත්කාලීන වන නව තත්ත්වයන් පිළිබඳව නිරන්තර අධීක්ෂණයක් පවත්වාගෙන යමින් ජාතික ආර්ථිකයට විය හැකි හානිය අවම කර ගැනීම සඳහා ගත හැකි විකල්පයන් පිළිබඳව ද නිරන්තර අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

නිවසේ සිට රාජකාරි කිරීම ගැන සොයා බලන්නැයි ජනපතිගෙන් උපදෙස්

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යා‍මේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මාර්තු 15 වන දා පැවති අතර එහිදී සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මතු වූ කරුණු පිළිබඳව සලකා බැලූ ජනාධිපතිවරයා, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයන් වෙනුවන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රදේශීයව පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙස උපදෙස් දී තිබිණි.

දැනට හඳුන්වා දී ඇති QR කේත ක්‍රමයේ පවතින ගැටලු හැකි ඉක්මනින් නිවැරදිව සකස් කර යාවත්කාලීන කරන ලෙස ද ජනාධිපතිවරයා උප‍දෙස් ලබා දුන් බව එම නිවේදනයේ දැක්වේ.

'සාකච්ඡාවක් තියෙනවා, අවසාන තීරණයකට තව ම එළඹිලා නැහැ'

බලශක්තිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස බංගලාදේශයේ විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර පිලිපීනයේ රජයේ ආයතන, ගිනි නිවන ස්ථාන සහ රෝහල් වැනි තීරණාත්මක සේවාවන් නිදහස් කරමින් දින හතරක වැඩ සති ප්‍රතිපත්තියක් ආරම්භ කර ඇත.

බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස තායිලන්තය සහ වියට්නාමය සිය රටවල රජයේ සේවකයන්ට ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ලංකාව තුළ එවැනි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට සූදානම් වන්නේ දැයි බීබීසී සිංහල සේවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා බවත් ය.

"මොකක් ද කරන්නේ කියන එක සම්බන්ධව සාකච්ඡාවක් තියෙනවා. නමුත් අවසාන තීරණයකට තව ම එළඹිලා නැහැ. බොහෝ වෙලාවට සඳුදා, අඟහරුවාදා වෙද්දී තීරණයක් ගන්න පුළුවන් වෙයි."

'ඉන්ධන ඉල්ලුම අඩු කරන්න තියෙන හොඳ ම දේ 'වර්ක් ෆොරෝම් හෝම්''

ශ්‍රී ලංකාව සලකා බැලිය යුත්තේ ඉන්ධන සීමා කිරීම වෙනුවට ඉල්ලුම පහත දමා ගැනීම බවත්, ඒ සඳහා කළ යුත්තේ හැකි සෑම ක්ෂේත්‍රයක් ම නිවසේ සිට වැඩ කිරීම බවත් වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

"ලංකාව බලන්න ඕනේ QR කෝඩ් එක දීලා තෙල් බෙදාහරින සීමාව අවම කිරීම නෙමෙයි තෙල්වලට තියෙන ඉල්ලුම අඩු කරන එක. තෙල්වලට ඉල්ලුම අඩු කරන්න නම් හොඳ ම දේ තමයි, අපිට මේ වෙලාවේ පුළුවන් හැම ක්ෂේත්‍රයක් ම වර්ක් ෆොරෝම් හෝම් කියන කන්සෙප්ට් එකට ගෙනියන එක. රටවල් ගණනාවක් මේ අර්බුදය ආරම්භ වෙද්දි ම පටන් ගත්තා වර්ක් ෆොරෝම් හෝම් කන්ස්පෙට් එකට යන්න. එතකොට සමස්ත බලශක්ති ඉල්ලුම පහත දාන්න හැකි වෙනවා."

'ලබන මාසය කියන්නේ තෙල් සඳහා ඉල්ලුම ටිකක් වැඩි මාසයක්'

සතියට දින කිහිපයක් හෝ සීමා පැනවීමෙන් බලශක්තියට ඇති ඉල්ලුම අවම කර ගත හැකි බව ද මහාචාර්යවරයා අවධාරණය කළේ ය.

"දිගු කාලීනව යුද්ධය පවතියි කියන අර්බුදකාරී තත්ත්වය ගැන හිතලා රජයට තීරණයක් ගන්න වෙනවා. ලබන මාසය කියන්නේ තෙල් සඳහා ඉල්ලුම ටිකක් වැඩි මාසයක් නේ. ඒ හින්දා දැන්ම ම එහෙම සීමාවකට යන එක හොඳයි."

එමෙන් ම යුදමය තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව අවදානමක් ඇති විය හැකි බව පෙන්වා දුන් වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, ඒ පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවත් පැවසීය.

ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීම්

ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීමේ අරමුණින් QR කේතය ඔස්සේ කෝටා ක්‍රමයට ඉන්ධන ලබා ගැනීමේදී තමන්ට ලබා දී තිබෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් තිබේ.

එහිදී සෞඛ්‍ය, කෘෂි කර්මාන්ත කටයුතු, ධීවර සහ පොදු ප්‍රවාහනය ඇතුළු අත්‍යවශය සේවාවවලට ඉන්ධන ලබා දීමට සම්බන්ධව ද ගැටලු පැන නැගී තිබෙනු දක්නට ලැබේ.

QR ක්‍රමවේදය යටතේ ලබාදීමට යෝජිත ඉන්ධන සලාකය කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන අතර, නිවසින් දූරස්ථ ප්‍රදේශවල රාජකාරියේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන්ට රාජකාරී ඉටුකිරීමට රෝහල් වෙත ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එම සංගමය මැසිවිලි නගයි.

එමෙන් ම, ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමය හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවා සඳහා බාධා ඇති වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද නිවේදනය කළේ ය.

මෙම නව ක්‍රමවේදය හරහා සතියකට යතුරු පැදියක් සඳහා නිකුත් කරන පෙට්‍රල් ලීටර් 05 මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ ක්ෂේත්‍ර සේවා කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්සගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විශේෂ කෝටාවක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට රජයේ සැලසුමක්

මෙසේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉන්ධන කෝටාව බාධාවක් ඇති කරන පසුබිමක ඒ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල සේවය ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගෙන් විමසීමක් කළේ ය.

එවැනි අත්‍යවශ්‍ය සේවා සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියේ ය.

ඒ අනුව සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහන වැනි ක්ෂේත්‍රවලට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය දැනුම් දීමෙන් පසුව එම ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

"ප්‍රයිවට් බස්වලට ඩිපෝවෙන් දෙන්න සාකච්ඡා කරලා ඒක සූදානම් කළා. තමන් යන රූට් එක අනුව ඒ අයට විශේෂ කෝටාවක් තියෙනවා. ඇමිබියුලන්ස්වලට වෙන ම එකක් තියෙනවා. ඩොක්ටර්ස්ලාට වගේ ඒ අවශ්‍ය කරන සේවාව අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවශ්‍ය ප්‍රමාණය කිව්වා ම ඒ ප්‍රමාණය දෙනවා."

සංචාරක කර්මාන්තය සඳහා මෙන් ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන තාක්ෂණිකව විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන ලබා දීමට කටයුතු කරමින් යන බව ද ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර කියා සිටියේ ය.

එසේ ම ඉදිරියේදී මතු විය හැකි ගැටලු හඳුනා ගැනීමට සහ ඊට විසඳුම් සෙවීමට කමිටුවක් පත් කළ බවත්, ඒ හරහා ගැටලුවලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.