රැප් ගායකයෙකුව සිට පසුව දේශපාලනඥයෙකු බවට පරිවර්තනය වූ බාලේන්ද්‍ර ෂාගේ පක්ෂය නේපාල මැතිවරණය ජය ගනී

    • Author, තෝමස් මැකින්ටොෂ් සහ ඔලීවියා අයර්ලන්ඩ්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඉකුත් වසරේ තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් රජය පෙරලා දැමීමෙන් පසු නේපාලයේ පැවති පළමු මැතිවරණයෙන් රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය (RSP) අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.

අවසාන ඡන්ද ප්‍රතිඵලයේදී ආර්එස්පී පක්ෂය ඡන්ද 182ක් ලබා ගත් නමුත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක සුපිරි බහුතරයක් ලබා ගැනීමට ආසන දෙකක් මදි විය. කෙසේ වෙතත්, එය දශක ගණනාවකට පසු නේපාලයේ තනි පක්ෂයක් ලැබූ විශාලතම ජයග්‍රහණයයි.

නේපාල කොංග්‍රසය ආසන 38ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර නේපාල යූඑම්එල් කොමියුනිස්ට් පක්ෂය (සීපීඑන්-යූඑම්එල්) ආසන 25ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත්විය. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ආසන්න වශයෙන් සුදුසුකම් ලත් මිලියන 19ක ඡන්ද දායකයින්ගෙන් 60%ක් පමණ විය.

මෙම ප්‍රතිඵලය, රැප් ගායකයෙකුව සිට පසුව දේශපාලනඥයෙකු බවට පරිවර්තනය වූ ආර්එස්පී පක්ෂයේ බාලේන්ද්‍ර ෂා රටේ ඊළඟ නායකයා වීමේ මාවතට යොමු කරනු ඇත.

නව රජය පිහිටුවීමට අවම වශයෙන් සතියක්වත් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලය, 2022 වසරේදී පිහිටුවන ලද සහ එම වසරේ ම පැවති මැතිවරණයෙන් සිව්වන ස්ථානයට පත් වූ RSP පක්ෂයට පුදුමාකාර වාසනාවන්ත හැරවුම් ලක්ෂයකි. පක්ෂයට මෑතකදී සම්බන්ධ වූ ෂා ද ඔහුගේ පක්ෂය මෙන්, බොහෝ දුරට පරීක්ෂාවට ලක් වී නැත. ඔහුගේ එකම දේශපාලන අත්දැකීම මේ දක්වා නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරාධිපතිවරයා ලෙස කටයුතු කිරීම ය.

මෙම ජයග්‍රහණය වඩාත් වැදගත් වන්නේ, කේවල ආසන ක්‍රමයේ සහ සමානුපාතික නියෝජනයේ සංයෝජනයක් ඇති රටේ මිශ්‍ර දේශපාලන ක්‍රමය, තනි පක්ෂයක එවැනි ආධිපත්‍යයක් ගැනීම වැළැක්වීම සඳහා ගණිතමය වශයෙන් නිර්මාණය කර ඇති බැවිනි.

එමෙන් ම, මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් පිළිබිඹු වන්නේ මැතිවරණ ව්‍යාපාරය තුළ දක්නට ලැබුණු වෙනසක් සඳහා ඇති ආශාවයි. එනම් පක්ෂ විරැකියාව, ආර්ථිකයේ දියුණුවක් නොමැති වීම සහ අසමානතාවය ඇතුළු ගැටලු විසඳීමේ පොරොන්දු සමග නේපාලයේ ප්‍රධාන තරුණ කණ්ඩායම ආමන්ත්‍රණය කිරීමයි.

සමාජ මාධ්‍ය තහනමකට එරෙහිව පසුගිය වසරේ ඇති වූ තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතා උත්සන්න වූයේ ද මෙම ගැටලු නිසා ය.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නේපාලය තුළ දක්නට ලැබුණේ පක්ෂ 3ක් විසින් මෙහෙයවනු ලැබූ සන්ධාන ආණ්ඩු වන අතර ඉන් දෙකක් කොමියුනිස්ට් පක්ෂ වේ.

මෙම මැතිවරණයට පෙර, සිය අනාගතය හැඩගැස්වීම සඳහා මෙතෙක් අත්හදා නොබැලූ නව පරපුරකට අවස්ථාව දිය යුතු බවට සෙසු රටවැසියන් ඒත්තු ගැන්වීමට 'Gen Z' ඡන්ද දායකයන් සමත් වී ඇත් ද, නැතහොත් දශක ගණනාවක් බලය හෙබවූ ප්‍රබල දේශපාලනඥයන් තවදුරටත් බලය රඳවා ගනු ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමේ සූදානමක් පැවතිණි.

රටේ තරුණ ප්‍රජාවට පළමු වරට ඡන්දදායකයින් 800,000ක් ඇතුළත් වූ අතර, ඔවුන් ප්‍රධාන ඡන්දag දායක කණ්ඩායමක් බවට පත්ව සිටියහ.

බාලේන් ලෙස ජනප්‍රිය වී සිටින 35 හැවිරිදි වියේ පසුවන ෂා, වසර ගණනාවක් නේපාල හිප් හොප් ක්ෂේත්‍රයේ සාමාජිකයෙකු වී ඇති අතර, නේපාල භාෂාවෙන් කැපකිරීම් පිළිබඳ ලියැවුණු ඔහුගේ "Balidan" ගීතය යූ ටියුබ් හි වාර මිලියන ගණනක් නරඹා ඇත.

2025 සැප්තැම්බර් මාසයේදී ඕලි විසින් සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීම හේතුවෙන් උද්ගත වූ Gen Z විරෝධතා සමග නේපාලය පුරා නොසන්සුන්තාවක් උද්ගත විය.

විරෝධතා තවත් උත්සන්න වූයේ විරෝධතාකරුවන් නේපාලයේ දේශපාලන ක්‍රමය සහ පන්ති අසමානතාවයේ සංකේතයක් බඳු වූ එරට දේශපාලනඥයන්ගේ දරුවන්, ''නෙපෝ බබාලා'' (nepo babies) දැඩි ලෙස විවේචනය කිරීමත් සමග ය.

විරෝධතා අතරතුර පුද්ගලයන් 77 දෙනෙකු මියගිය අතර බීබීසී විමර්ශනයක් මගින් හෙළිවූයේ නිරායුධ විරෝධතාකරුවන් දහස් ගණනකට වෙඩි තබන ලෙස එරට පොලිස් ප්‍රධානියා නියෝග කර ඇති බවයි.

ෂා විරෝධතාකරුවන්ට සහාය දක්වමින් අදහස් දැක්වූ අතර එක් අවස්ථාවකදී ඕලි තම රට පාවා දුන් "ත්‍රස්තවාදියෙකු" ලෙස හඳුන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් ජනමාධ්‍ය හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටින රැප් ගායකයා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත ප්‍රකාශ කළේ තමන් "සමස්ත නේපාලයේ ම පොදු අපේක්ෂකයා" වන බවයි.

ෂා නියෝජනය කරන රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කළ අතර එමගින් රැකියා මිලියන 1.2ක් නිර්මාණය කිරීමට සහ බලහත්කාරයෙන් සිදු කෙරෙන සංක්‍රමණය අඩු කිරීමට පොරොන්දු වූ අතර එය මිලියන ගණනක නේපාල ජාතිකයින් විදේශගත වීමට තල්ලු කර ඇති විරැකියාව සහ අඩු වැටුප් පිළිබඳව පවතින කලකිරීමෙන් ඔවුන් මුදා ගැනීමට සිදු කළ උත්සහයක් විය.

වසර පහක් ඇතුළත නේපාලයේ ඒක පුද්ගල ප්‍රාග්ධන ආදායම ඩොලර් 1,447 සිට ඩොලර් 3,000 දක්වා ඉහළ නංවන බවත්, රටේ ආර්ථිකය ඩොලර් බිලියන 100ක දළ දේශීය නිෂ්පාදිතයක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි කරන බවටත්, ජනගහනය සඳහා සෞඛ්‍ය රක්ෂණය වැනි ආරක්ෂිත ජාල සපයන බවත් පක්ෂය පොරොන්දු වී තිබේ.