ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍ය 'රැජිනගේ නායිකාවක්' වූ ශ්‍රී ලාංකික තරුණිය
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් තෝරා ගන්නා ලද තරුණ නායක නායිකාවන් 60 දෙනෙක් පසුගිය සතියේ ලන්ඩනයේදී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින අතින් සම්මාන ලැබූහ.
ඒ 'රැජිනගේ තරුණ නායක, නායිකාවන්' (Queens Young Leaders) වශයෙන්.
ශ්‍රී ලාංකික තරුණියක්ද ඒ අතර සිටියාය.
ඇය නුෂෙල් ද සිල්වා.
යුද ගැටුම්වලින් අනතුරුව විශේෂයෙන්ම උතුරේ දෙමළ සහ මුස්ලිම් දරු පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම් වස් දියත් කළ Building Bridges ව්‍යාපෘතිය වෙනුවෙනුයි නුෂෙල් එලිසබෙත් රැජිනගෙන් සම්මාන ලැබුවේ.
ඉතා කුලෑටි, ලජ්ජාශීලී ශිෂ්‍යාවකව සිටි සමයේ සිය සමේ වර්ණය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පාසලේදී අනෙක් දරුවන්ගේ උසුළු විසුලුවලටත් ලක් වූ ඇය, රැජිනගේ තරුණ නායිකාවක දක්වා පැමිණි මාර්ගය ඇය විස්තර කළේ සිය ලන්ඩන් සංචාරය අතරතුර දී බීබීසී සංදේශය මැදිරියට ගොඩ වැදුන අවස්ථාවේ.
"අට වෙනි ශ්‍රේණියේදි මට අවස්තාවක් ලැබුණ අන්තර නිවාසික නාට්‍ය තරඟයට ඇතුලත් වෙන්න," ඇය සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.
"මට ලැබුණේ මට වඩා ගොඩක් වයසින් වැඩි බීමත් පිරිමි චරිතයක්. ඇත්තටම එකෙන් මට ආත්ම විශ්වාසය ගොඩ නැගුන. ඒ වගේම අපිට හමු වෙන ඒ වගේ අමාරු චරිත එහෙම හැසිරෙන්නේ ඇයි කියන එක මට තේරුණා."
එදා ඒ නාට්‍ය වැඩමුළුවෙන් සිය ජීවිතයට ලැබුන ආභාෂය ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පීඩා විඳි දරු දැරියන්ගේ ජීවිත නගා සිටුවීම් වස් යොදාගැනීම වෙනුවෙනුයි ඇය 'රැජිනගේ නායිකාවක්' වශයෙන් තෝරා ගැනෙන්නේ.
මේ වසරේ වයස අවුරුදු තිහට අඩු ආසියානු ව්‍යවසායකයන් තිස් දෙනා අතරින් කෙනෙකු ලෙසින් ෆෝබ්ස් සඟරාව මගින්ද නුෂෙල් ද සිල්වා පසුගියදා සම්මාන ලැබුවාය.