ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ඉරානයේ ඊළඟ නායකයා තෝරා ගැනීමේදී 'මම සම්බන්ධ විය යුතුයි' යැයි ට්‍රම්ප් පවසයි - වාර්තාවක්

ඉරානයේ ඊළඟ නායකයා පත් කිරීමේදී තමා "සම්බන්ධ විය යුතු" බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව, ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඇක්සියෝස් සඳහන් කළේය.

සාරාංශය

  • ඉරානය බහරේනයේ හෝටලයක් ඉලක්ක කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
  • ඉරානයට එරෙහි ප්‍රහාර "ඉදිරියේදී තවත් දැඩි වනු ඇති බවට" එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පවසයි.
  • ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසන පරිදි, රට යුද්ධයේ "ඊළඟ අදියර කරා ගමන් කරමින් සිටින" අතර එක්සත් ජනපදය ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධති වෙත "සෑම පැයකදී ම" පහර දෙන ඩොනල්ඩ් පැවසීය.
  • ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර තිබේ; මීට පෙර දකුණු ලෙබනනයේ විශාල රථවාහන පෝලිම් දක්නට ලැබුණේ, ඊශ්‍රායලය පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැන්වීමත් සමග ය.
  • යුද්ධයේ හයවන දිනටත් ඉරානයට එරෙහි ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවේ.
  • මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත්, පදිංචිකරුවන්ට ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස ඉල්ලා සිටින බවත්ය. මීට පෙර, ඉරාන මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 131ක් එරට විසින් බිම හෙළනු ලැබ තිබිණි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. කොන්දේසි විරහිතව යටත් වීම හැර ඉරානය සමඟ කිසිදු ගිවිසුමක් නැහැ - ජනාධිපති ට්‍රම්ප් පවසයි

    ඉරානය සම්පූර්ණයෙන් ම යටත් වන තුරු කිසිදු ගිවිසුමක් ඇති කර නොගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

    තම සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසන්නේ, ඉරානය යටත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාර්ශ්ව පිළිගන්නා නායකයෙකු තෝරා ගැනීමෙන් පසු, ඉරානයේ ආර්ථිකය නැවත ගොඩනැගීමට සහ රට ශක්තිමත් කිරීමට ඔවුන් එක්ව කටයුතු කරන බව ය.

    “ඉරානයට ශ්‍රේෂ්ඨ අනාගතයක් තියෙනවා, ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න" යන පාඨයෙන් ඔහු තම සටහන අවසන් කර තිබේ.

  2. ඉරානයේ ඊළඟ නායකයා තෝරා ගැනීමේදී 'මම සම්බන්ධ විය යුතුයි' යැයි ට්‍රම්ප් පවසයි - වාර්තාවක්

    ඉරානයේ ඊළඟ නායකයා තෝරා ගැනීමේදී 'මම සම්බන්ධ විය යුතුයි' යැයි ට්‍රම්ප් පවසයි - වාර්තාවක්

    ඉරානයේ ඊළඟ නායකයා පත් කිරීමේදී තමා "සම්බන්ධ විය යුතු" බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව, ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඇක්සියෝස් සඳහන් කළා.

    ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පුත්‍රයා ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කළ හැකි බවට වන වාර්තා උපුටා දක්වමින් ඇක්සියෝස් මේ බව වාර්තා කර සිටියා.

    "ඔවුන් කාලය නාස්ති කරනවා. කමේනිගේ පුතා සැහැල්ලු පුද්ගලයෙක්. වෙනිසියුලාවේ ඩෙල්සි [රොඩ්‍රිගස්] වගේ මටත් මේ පත්වීමට සම්බන්ධ වෙන්න වෙනවා," ට්‍රම්ප් පැවසූ බව උපුටා දක්වා ඇත. "කමේනිගේ පුතා මට පිළිගත නොහැකියි. ඉරානයට සමගිය සහ සාමය ගෙන එන කෙනෙක් අපට අවශ්‍යයි."

  3. ඉරානය එල්ල කළ ප්‍රහාර කාර්මික කලාපවලට එල්ලවී ඇතැයි බහරේනය පවසයි

    බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මාමීර් කාර්මික ප්‍රදේශයේ පිහිටි මධ්‍යස්ථානයක් ඉරානය ඉලක්ක කර ඇති බවයි.

    සන්සුන්ව සිටින ලෙසත් ළඟම ඇති ආරක්ෂිත ස්ථානයට යන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමින් සයිරන් නාදයක් නිකුත් කළ බව රජය පැවසීමෙන් ටික කලකට පසුව මෙම සිද්ධිය වාර්තා වුණා.

    එම මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න දැන් පාලනය කර ඇති බව අමාත්‍යාංශය සමාජ මාධ්‍යවල පළ කළ සටහනක සඳහන් කර ඇති අතර, "සීමිත ද්‍රව්‍යමය හානියක්" සහ "ජීවිත හානියක් සිදු වී නොමැත" යනුවෙන් එහි දක්වා තිබෙනවා.

  4. එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට පුරා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය රට පුරා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

    එල්ල විය හැකි මිසයිල තර්ජන පිළිබඳව අනතුරු අඟවා ඇති අතර ළඟම ඇති ආරක්ෂිත ගොඩනැගිල්ලක් වෙත වහාම යන ලෙස පදිංචිකරුවන්ගෙන් වෙත දැනුම් දී ඇත.

  5. එක්සත් රාජධානිය කටාර් වෙත අමතර ටයිෆූන් ජෙට් යානා සහ සයිප්‍රසයට හෙලිකොප්ටර් යවයි

    කටාර්හි බ්‍රිතාන්‍ය බලඝණයට එක්වීම සඳහා එක්සත් රාජධානිය අමතර ටයිෆූන් ජෙට් යානා හතරක් යවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් පවසනවා.

    ඩ්‍රෝන් විනාශ කිරීමේ හැකියාවන් සහිත වයිල්ඩ්කැට් හෙලිකොප්ටර් හෙට සයිප්‍රසයට යවන බවත්, HMS ඩ්‍රැගන් නෞකාව මධ්‍යධරණී මුහුදට යොදවන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

  6. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බැලස්ටික් මිසයිලයකින් සහ ඩ්‍රෝන යානා 6කින් ප්‍රහාර

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ අද දින බැලස්ටික් මිසයිල 6ක් සහ ඩ්‍රෝන යානා 131 ක් ප්‍රතිග්‍රහණය කර විනාශ කළ බවයි - නමුත් එක් මිසයිලයක් සහ ඩ්‍රෝන යානා 6ක් රට තුළට පතිත වූ බව එම අමාත්‍යංශය සඳහන් කළා.

    සෙනසුරාදා "ඉරානයේ ආක්‍රමණශීලී ප්‍රහාර ආරම්භයෙන්" පසු බැලස්ටික් මිසයිල 196ක් හඳුනාගත් බවත්, කෲස් මිසයිල 8ක් ද හඳුනාගෙන විනාශ කළ බවත් එම අමාත්‍යංශය පැවසුවා.

    ප්‍රහාර වලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනාම පකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණි විදේශිකයන්.

    ප්‍රහාර ආරම්භ වූ දා සිට පුද්ගලයින් 94 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළා.

  7. මාර්තු 08 වන දින ලන්ඩන් නුවර වෙත අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කරයි

    මැදපෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවයට පත් වූ මගීන්ට සහාය වීම පිණිස, 2026 මාර්තු 08 වන දින කොළඹ සහ ලන්ඩන් අතර අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, අංක UL1205 දරන අතිරේක ගුවන් යානය 2026 මාර්තු 08 වන ඉරිදා දින පෙ.ව. 06:50 ට කොළඹින් පිටත්ව එදිනම ප.ව. 13:10 ට ලන්ඩන් වෙත ළඟා වීමට නියමිතය වනවා. එහි ආපසු ගමන් වාරය වන UL1206 ගුවන් යානය එදිනම ප.ව. 15:05 ට ලන්ඩන් නුවරින් පිටත්ව පසු දින පෙ.ව. 06:55 ට කොළඹට ළඟා වනු ඇත.

    පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව අවධානයෙන් පසුවන අතර, ගමන් බාධා ඇති වූ මගීන්ට සහාය වීම සඳහා තෝරාගත් ගමන් මාර්ග කිහිපයක මෙලෙස අතිරේක ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළා.

  8. ඉරාන මිසයිල 70කට වැඩි සංඛ්‍යාවක් විනාශ කළ බව බහරේනය කියයි

    මේ දක්වා ඉරාන මිසයිල 75 ක් සහ ඩ්‍රෝන යානා 123 ක් විනාශ කළ බව බහරේනය පවසනවා.

    ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින්, බහරේන් ආරක්ෂක හමුදාව පවසන්නේ "අනුක්‍රමිකව එල්ල වන දරුණු ඉරාන ත්‍රස්ත ප්‍රහාරවලට මුහුණ දෙන" බවයි. අවශ්‍ය නම් මිස පමණක් පිටතට යන ලෙසත්, නිවසේ රැඳී සිටින ලෙසත් ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

    සිවිල් ඉලක්ක වලට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිතා කිරීම "ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්" සහ "කලාපීය සාමය සහ ආරක්ෂාවට" තර්ජනයක් බව බහරේන් හමුදාව සඳහන් කළා.

  9. ගල්ෆ් මුහුදු කලාපයේ ඇමෙරිකානු නෞකාවක් ගිනි ගන්නා බව ඉරානය කියයි

    උතුරු ගල්ෆ් කලාපයේ දී ඇමෙරිකානු නෞකාවකට සිය නාවික හමුදාව පහර දුන් බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළා.

    ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් නිකුත් කරන ලද නිවේදනයක් උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ එම නෞකාව "උතුරු පර්සියානු ගල්ෆ් මුහුදු තිරයේදී මිසයිල් ප්‍රහාරයකට ලක්ව දැනට ගිනිගනිමින් ඇති" බවයි.

    ගල්ෆ් සිට ඉන්දියානු සාගරය දක්වා දිවෙන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ "සම්පූර්ණයෙ පාලනය" තමන් සතුව ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කළා.

    මෙම සිද්ධිය ස්වාධීනව තහවුරු කර නොමැති අතර එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ සංවිධානය (MTO) මීට පෙර පැවසුවේ අද උදෑසන කුවේට් වෙරළට ඔබ්බෙන්, උතුරු ගල්ෆ් කලාපයේදී නෞකාවකට ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.

    "නැංගුරම් ලා ඇති නෞකාවේ කපිතාන්වරයාට අනුව, වරාය දෙසින් විශාල පිපිරීමක් ඇසුණු බවත් පසුව කුඩා යාත්‍රාවක් ඒ ආසන්නයෙන් පිටව යන අයුරු දකින්න ලැබුනා" යැයි ඔවුන් වාර්තා කර සිටියා.

    "භාණ්ඩ නෞකාවෙන් මුහුදු ජලයට ඉන්ධන කාන්දු වන නිසා ඒකෙන් පරිසරයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. යාත්‍රාව වරායෙන් පිටත මුහුදට ඇතුළු වී තියෙනවා, ගින්නක් නැහැ, කාර්ය මණ්ඩලය ආරක්ෂිතයි."

  10. ඉරානයෙන් ඊශ්‍රායලය දෙසට නව මිසයිල රැල්ලක්

    "ඉරානයෙන් එල්ල කරන ලද" නව මිසයිල ප්‍රහාර රැල්ලක් හඳුනා ගැනීමෙන් පසු රටේ ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) අද උදෑසන කියා සිටියා.

    තම ටෙලිග්‍රෑම් නාලිකාවේ ප්‍රකාශයක් නිකුත් කරමින්, IDF කියා සිටියේ මිසයිල ප්‍රතිග්‍රහණය කිරීමට කටයුතු කරන බැවින් ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

    "මහජනතාවගෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සහ උපදෙස් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා ," ඊශ්‍රායල් ආරක්ෂක බලකාය සඳහන් කළා.

  11. ටෙහෙරානය පුරා දුමාරයක් නැගෙන අයුරු

    අද උදෑසන ඉරාන ටෙහෙරාන් අගනුවරින් ලබාගත් නව ඡායාරූප වලින් ඝන දුමාරයක් අහසට නැගෙන අයුරු දැක ගන්න පුළුවන්

  12. ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වයි

    ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (පෙබරවාරි 05) පැවැත්විණි.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ සහ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජයතුංග මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා.

    මෙහිදී මහේස්ත්‍රාත්වරු මෘත ශරීර නිරීක්ෂණය කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.

    ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

  13. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව මෙතෙක් යොදාගත් ආයුධ මොනවා ද?, දිනුක් හේවාවිතාරණ - බීබීසී සිංහල

    ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව පසුගිය පෙබරවාරි මස 28 වන දා යුදමය ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කළා.

    ප්‍රහාරය ආරම්භයේදී ඊශ්‍රායල් ගුවන් හමුදාවේ F-15, F-22 සහ F-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවලින් ඉරානයේ ඉලක්ක වෙත බෝම්බ හෙළූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන මෙහෙයුමට සම්බන්ධ වූයේ ටොමෝහෝක් වර්ගයේ මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කරමින්.

    ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව යුදමය ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වූයේ, මෙම වසරේ ජනවාරි මාසයේ සිට ය.

    ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගනු ලබන ආයුධ සහ ඔවුන්ගේ යුද ශක්තිය සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදුකරන සොයා බැලීමකි, මේ.

  14. දෝහාහි පිපිරීම් ශබ්ද

    කටාර් අගනුවර වන දෝහාහි පිපිරීම් ශබ්ද වාර්තා වී ඇති බව AFP ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාකරුවෙක් සඳහන් කළා.

    මීට පෙර, පූර්වාරක්ෂාවක් ලෙස කටාර් රාජ්‍යය දෝහා හි ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල ජීවත් වන පුද්ගලයින් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු ආරම්භ කරන ලදී.

  15. ඉරාන නාවික හමුදා නෞකාවකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රතිචාර

    ශ්‍රී ලංකාවේ ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන නාවික හමුදා නෞකාවකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි x පනිවුඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වනු ලැබුවා.

    ඔහු කියා සිටියේ, ඉරාන වෙරළට සැතපුම් 2,000ක් ඈතින් මුහුදේදී එක්සත් ජනපදය දරුණු අපරාධයක් සිදු කර ඇති බවයි.

    නාවිකයින් 130කට ආසන්න සංඛ්‍යාවක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ අමුත්තෙකු වූ ඩෙනා ෆ්‍රිගේට් නෞකාවට ජාත්‍යන්තර මුහුදේදී අනතුරු ඇඟවීමකින් තොරව පහර දී ඇතැයිද ඔහු කියා සිටියා.

    ‘මගේ වචන මතක තබා ගන්න: එක්සත් ජනපදය තමන් දුන් පූර්වාදර්ශය ගැන දැඩි ලෙස කනගාටු වනු ඇත.’

  16. කටාර් ගුවන් සේවය යුරෝපීය නගර වෙත සහන ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැරසේ

    කටාර් ගුවන් සේවය අද (මාර්තු 5 වැනිදා) මැද පෙරදිග සිට යුරෝපීය නගර කිහිපයකට සහන ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා.

    මස්කට් හා ඕමාන් සිට ලන්ඩන් හීත්‍රෝ, බර්ලින්, කෝපන්හේගන්, මැඩ්රිඩ්, රෝමය සහ ඇම්ස්ටර්ඩෑම් වෙත මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    තවත් ගුවන් යානයක් සෞදි අරාබියේ රියාද් සිට ෆ්‍රැන්ක්ෆර්ට් වෙත පිටත් වේ.

  17. ජනපති ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    ඉරානය තුළ තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති හැකියාව සීමා කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට ඇමෙරිකා සෙනෙට් සභාව අසමත් වුණා.

    එම යෝජනාව සඳහා සෙනෙට් සභිකයින් පක්ෂව ඡන්ද 47ක් සහ විරුද්ධව ඡන්ද 53ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

  18. අඛණ්ඩව එල්ලවන ප්‍රහාර ගැන මැදපෙරදිග නවතම තොරතුරු

    • ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල එල්ල කිරීමක් වාර්තා වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) සඳහන් කළා.
    • ඉරාන නැව් 20කට වැඩි සංඛ්‍යාවකට 'පහර දී හෝ ගිල්වා දැමූ' බව එක්සත් ජනපදය පවසනවා.
    • ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම, (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන බලකාය) බීබීසීයට පවසා ඇත්තේ, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර එක්සත් ජාතීන්ගේ මායිම වන නිල් රේඛාව අසල ලෙබනන් ගම්මාන කිහිපයකට ඊශ්‍රායල හමුදාව ඇතුළු වී ඇති බවයි.
    • රොයිටර් පුවත් සේවයේ සහ දේශීය මාධ්‍යවල වාර්තාවලට අනුව, අද ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනන් සමාජ කටයුතු අමාත්‍ය හනීන් සයිඩ් පවසනවා.
    • සෙනසුරාදා ගැටුම ආරම්භයේ සිට ඉරානයට බෝම්බ 5,000 කට වඩා හෙළා ඇති බව ඊශ්‍රායලය හමුදා ප්‍රකාශ කළා.
  19. 'දෙවන ලෝක යුද්ධයෙන් පසු එල්ල කළ පළමු ටෝපිඩෝවෙන් නෞකාව ගිලී ගියා' යැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කළ ප්‍රකාශය වැරදියි

    ටොම් එජින්ටන් විසිනි - BBC Verify

    එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් වාර්තාකරුවන්ට පැවසුවේ එක්සත් ජනපද සබ්මැරීනයක් ඉන්දියානු සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බවයි.

    ඔහු කියා සිටියේ එය "දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව" බවයි.

    එහෙත් මෙය නිවැරදි නැහැ.

    1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී, ආර්ජන්ටිනාවේ එකම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් ටෝපිඩෝ දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා.

    1971 දී තවත් ගිලී යාමක් සිදු විය, ඉන්දියානු ෆ්‍රිගේට් නෞකාවක් වන INS කුක්රි පාකිස්ථාන සබ්මැරීනයක් විසින් ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා.

    කෙසේ වෙතත්, ඉරාන යුද නෞකාව ගිල්වා දැමීම 1945 න් පසු ඇමෙරිකානු සබ්මැරීනයක් මේ ආකාරයෙන් සතුරු නැවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව වනු ඇත.

  20. ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

    ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පැවසුවා.

    "ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. නිහඬ මරණයක්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව," ඔහු එහිදී පැවසුවා.

    කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කළේ නැහැ.