සජීව පිටුවේ නිමාව...
මෙම සජීව පිටුව ඔස්සේ තොරතුරු ගෙන ඒම මෙතෙකින් නිමාවට පත් කරන අතර අප සමග රැඳී සිටි ඔබට ස්තූතියි!
ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෝලීය වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 (පවුම් 82.74) ඉක්මවා ගොස් තිබේ. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය උත්සන්න වීම නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම්වලට දිගුකාලීන බාධා ඇති වේ යැයි බියක් ඇති වී තිබීම හේතුවෙනි.
මෙම සජීව පිටුව ඔස්සේ තොරතුරු ගෙන ඒම මෙතෙකින් නිමාවට පත් කරන අතර අප සමග රැඳී සිටි ඔබට ස්තූතියි!
ගෝලීය වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 (පවුම් 82.74) ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය උත්සන්න වීම නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් නැව්ගත කිරීම්වලට දිගුකාලීන බාධා ඇති වේ යැයි බියක් ඇති වී තිබෙන බැවින්.
සඳුදා උදෑසන ආසියාවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල 24% කින් පමණ ඉහළ ගොස් ඩොලර් 114.74 ක් වූ අතර, නයිමෙක්ස් ලයිට් ස්වීට් මිල 26% කට වඩා ඉහළ ගොස් ඩොලර් 114.78 ක් ලෙස සටහන් වුණා.
මෙම සතියේ තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවට ළඟා වනු ඇතැයි වෙළඳපොළවල බොහෝ දෙනෙක් අනාවැකි පළ කර තිබුණා.
යුද්ධයකදී කොපමණ පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත් ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන්ට සැමවිට ම යාවත්කාලීන තොරතුරු ලබා ගත නොහැකි නමුත් නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ ප්‍රකාශ මගින් අපට යම් අදහසක් ලබා දිය හැකියි.
ඉරානය: යුද්ධය ආරම්භ වූ දා සිට ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 1,332 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති අමීර් සයීඩ් ඉරාවානි සිකුරාදා පැවසුවා.
ලෙබනනය: සෞඛ්‍ය අමාත්‍යංශ පැවසුවේ පුද්ගලයින් 394 දෙනෙකු මියගොස් ඇති බවත් ඔවුන් අතර දරුවන් 83 දෙනෙකු සහ කාන්තාවන් 42 දෙනෙකු සිටින බවයි.
ඊශ්‍රායලය: ඉරානයට එරෙහි මෙහෙයුම ආරම්භ කළ දා සිට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව එරට හදිසි සේවා ආයතනය පැවසුවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, අද එරට වේලාවෙන් උදෑසන වන විට, පෙබරවාරි 28 වන දින සිට පුද්ගලයින් 1,929 දෙනෙකු තුවාල ලබා රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි. නමුත් ඒ, මිසයිල ප්‍රහාර හේතුවෙන් නොවන බව ඔවුන් සඳහන් කළා.
ඇමෙරිකා එක්සත් ජනපදය: පසුගිය ඉරිදා කුවේටයේ ඇමෙරිකානු කඳවුරකට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමෙරිකානු සොල්දාදුවන් හය දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පැවසුවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය: ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි.
කුවේට්: කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ දේශසීමා ආරක්ෂකයින් දෙදෙනෙකු මිය ගිය බව වාර්තා කළ අතර, සුන්බුන් වැටීමෙන් ගැහැනු දරුවෙකු ද මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
බහරේනය: අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පසුගිය සතියේ පැවසුවේ සුන්බුන් වැටීමෙන් සේවකයෙකු මිය ගිය බවයි.
මෙම සංඛ්‍යා සත්‍යාපනය කිරීමට බීබීසීයට නොහැකි බව සලකන්න.
ඉරාන අන්තර්වාර නායකයා සෙනසුරාදා උදෑසන කළ ප්‍රකාශයකදී ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්, ඉරානය තම අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් සමාව අයැද සිටීම බොහෝ දෙනෙක් පුදුමයට පත් කළ ක්‍රියාවක් වුණා.
විශේෂයෙන් සක්‍රීය ගැටුමක් අතරතුර රාජ්‍යයන් අතර සමාව අයැදීම දුර්ලභ වන අතර, එම වචන කැපී පෙනුනා.
නායකයින් සාමාන්‍යයෙන් "කනගාටුව" ප්‍රකාශ කරන නමුත් වගකීම භාර ගැනීමෙන් බැහැර වෙනවා.
ඒ වෙනුවට අසල්වැසි රටවල් ඉලක්ක කර ගත් බව පෙසෙෂ්කියාන් ඍජුව ම පිළිගත් අතර ඉරානයට එරෙහි ප්‍රහාර එම රටවල භූමියෙන් ආරම්භ නොවන්නේ නම් ඔවුන්ට පහර දීම නවත්වන ලෙස ඉරාන හමුදාවන්ට දැන් දැනුම් දුන් බව පැවසුවා.
එය ම පළමු ප්‍රශ්නය මතු කරනවා: මෙය සැබෑ ලෙස ම සමාව අයැදීමක් ද? එය දැන් සිදු කළේ ඇයි? ඊට එක් හේතුවක් නම්, කලාපයේ පවතින ගැටලුව ඔඩු දිවීම වළක්වා ගැනීමට ගන්නා උත්සයක් වීමයි. සමාව අයැදීමෙන්, ඔහු ටෙහෙරානයට යුද්ධය පුළුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය නොවන බවට සංඥා කිරීමට උත්සහ කරනවා විය හැකියි.
මෙම පණිවිඩය දේශපාලන යථාර්ථයක් ද ව්‍යංගයෙන් පවසයි: අසල්වැසි රටවල ඇති ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පහර දීමෙන් ඉරානය තවදුරටත් හුදෙකලා වීමට ඇති අවදානමයි.
නමුත් සමාව අයැදීම ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය වේ ද යන්න එතරම් පැහැදිලි නැත.
කලාපයෙන් ලැබෙන වාර්තාවලින් පෙනී යන්නේ ඉරානයට හෝ එහි හමුදාවන්ට සම්බන්ධ ප්‍රහාර තවමත් නතර වී නොමැති බවයි.
කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය දෙක ම සෙනසුරාදා දහවල් ප්‍රකාශ කළේ ඔවුන් ඉලක්ක කරගත් මිසයිල ප්‍රහාර බිම හෙළූ බවයි.
මෙවැනි ප්‍රහාර දිගට ම පැවතුනහොත්, ඉරානයේ බිඳුණු නායකත්ව ව්‍යුහය තුළ පාලනය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් මතු කරයි.
ඉරානයේ වත්මන් දේශපාලන සන්දර්භය අසාමාන්‍යයි: එහි ඉහළින් ම සිටි බලවත් ම දැඩි මතධාරී පුද්ගලයින් කිහිප දෙනෙකු ම දැන් ජීවතුන් අතර නොමැත, නමුත් බොහෝ පහළ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ අණ දෙන නිලධාරීන්ගෙන් කිසිදු සහනදායක පියවරක් ගැනීම පිළිබඳ ලකුණු නොමැත.
ඔවුන්ට, විදේශීය රජයන්ගෙන් සමාව අයැදීම ජාතික අර්බුදකාරී අවස්ථාවක යටත් වීමක් ලෙස පෙනෙන්නට පුළුවන.
"කුර්දීන් යුද්ධයට සම්බන්ධ වීම අපේක්ෂා කරන්නේ නැහැ," එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා සවස එයාර් ෆෝස් වන්හිදී වාර්තාකරුවන්ට පැවසුවා.
"යුද්ධය දැනටමත් පවතින තත්ත්වයට වඩා සංකීර්ණ කිරීමට අපට අවශ්‍ය නැහැ," ඔහු තවදුරටත් සඳහන් කළා.
"කුර්දි ජාතිකයන් තුවාල ලබනවා, මැරෙනවා දකින්න මට අවශ්‍ය නැහැ. අපි අතර හොඳ සබඳතාවක් තිබෙනවා. ඔවුන් යුද්ධයට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් සිටිනවා. නමුත් අපි ඇත්තට ම, මම ඔවුන්ට කිව්වා ඔවුන් සම්බන්ධ වෙනවට මම කැමති නැහැ කියලා."
ඉරාන කුර්දි සටන්කරුවන් සහය ලබා දීම තමන් "අනුමත කරන" බව ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කිරීමෙන් පසු මෙම ප්‍රකාශය සිදුවිය.
මධ්‍යම බේරූට්හි හෝටලයකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ප්‍රහාරයෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔවුන් තව දුරටත් පැවසුවා.
රොයිටර්ස් පුවත් ඒජන්සියට අනුව, මෙම ගිය හෝටලය, දකුණු ලෙබනනයේ සහ බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවල සටන් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් නවාතැන් ගෙන සිටි හෝටලයක්.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමග යුද්ධයෙන් මියගිය ඇමෙරිකානු සෙබළුන් හය දෙනෙකුගේ පවුල්වලට සෙනසුරාදා ඩෝවර් ගුවන් හමුදා කඳවුරේදී තම ශෝකය පළ කර තිබුණා.
මේ, අප ඔවුන් ගැන දන්නා තොරතුරු.
මිය ගිය අය අතර...
ප්‍රධාන වරෙන්තු නිලධාරි 3 රොබට් එම් මර්සාන්, වයස 54,
මේජර් ජෙෆ්රි ආර් ඕ'බ්‍රයන්, වයස 45,
කැප්ටන් කෝඩි කෝර්ක්, වයස 35,
සැරයන් නෝවා ටීට්ජෙන්ස්, වයස 42,
සැරයන් නිකොල් ඒමෝර්, වයස 39,
සැරයන් ඩෙක්ලන් කෝඩි, වයස අවුරුදු 20.
මෙම හය දෙනා ස්වේච්චා බළකායේ සාමාජිකයින් වූ අතර, පසුගිය ඉරිදා කුවේටයේ පෝර්ට් ෂුඅයිබාහි ගුවන් ආරක්ෂක වළල්ලෙන් මිදී එහි විධාන ගොඩනැගිල්ලට පහර දීම සඳහා එවූ "මිනිසුන් රහිත ගුවන් යානා පද්ධතියක" ප්‍රහාරයට ලක්ව මිය ගියා.
ඊශ්‍රායල විපක්ෂය සෙනසුරාදා රාත්‍රියේ රජයෙන් ඉල්ලා සිටියේ ඉරානයේ ආර්ථිකය අඩපණ කිරීම සඳහා "එරට සියලු ම තෙල් නිධි විනාශ කරන ලෙස" යි.
මෙය ඉරානයේ බලශක්ති කර්මාන්තයට පහර දීම මෙන් ම "පාලන තන්ත්‍රය පෙරළා දමනු ඇති" බව යායිර් ලැපිඩ් පැවසුවා.
"ඉරානයේ පාලනය බිඳ වැටුණු විට මෙම යුද්ධය අවසන් විය යුතුයි," ඔහු Xහි සටහනක් තබා තිබුණා.
ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් සහ බැලස්ටික් මිසයිල කර්මාන්තය මෙන්ම හිස්බුල්ලා සංවිධානය ද "විනාශ කළ යුතු" බව ඔහු තවදුරටත් පැවසුවා.
පසුගිය සෙනසුරාදා දකුණු ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළා. ඉරාන නිලධාරීන් පැවසුවේ 160කට වැඩි පිරිසක් මිය ගිය බවයි.
කෙසේ වෙතත්, මෙම මරණ සංඛ්‍යාව ස්වාධීනව තහවුරු කිරීමට බීබීසී පුවත් සේවයට තවමත් නොහැකියි.
සෙනසුරාදා රාත්‍රියේ එයාර් ෆෝස් වන් යානයේදී, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) කඳවුරක් අසල ප්‍රහාරයට ඇමෙරිකා එක්සත් ජනපදය වගකිව යුතු දැයි ට්‍රම්ප්ගෙන් විමසුවා.
"නැහැ, මගේ මතය අනුව, මම දැකලා තියෙනව් දේවල් අනුව, ඒක ඉරානය විසින් සිදු කරන ලද්දක්" ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
පසුව වාර්තාකරුවෙක් ආරක්ෂක ලේකම් පීට් හෙස්ගෙත්ගෙන් මෙය සත්‍යයක් දැයි විමසුවා.
ඔහු පිළිතුරු දුන්නේ: "අපි විමර්ශනය කරනවා, නමුත් සිවිල් වැසියන් ඉලක්ක කරන එක ම පැත්ත ඉරානයයි".
ට්‍රම්ප් නැවත අවධාරණය කරමින්: "අපි හිතන්නේ එය ඉරානය විසින් සිදු කරන ලද්දක් කියලා... ඔබ දන්නවා, ඔවුන්ගේ යුධෝපකරණ සම්බන්ධයෙන් ගත්තා ම ඒවාට නිවැරදිව ඉල්ලක්කවලට පහර දෙන්න බැහැ කියලා. ඒවායේ කිසිදු නිරවද්‍යතාවක් නැහැ. ඒක කළේ ඉරානය විසින්."
පසුගිය සතියේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අවධාරණය කළේ: "ඇමෙරිකා එක්සත් ජනපදය හිතාමතා ම පාසලක් ඉලක්ක නොකරනු ඇත", එක්සත් ජනපද හමුදාවන්ට "සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීමට කිසිදු දිරිගැන්වීමක් කර නොමැති" බවයි.
ඉරානයේ හමුදා ස්ථාන සහ නායකත්වය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පුළුල් ප්‍රහාර එල්ල කිරීමත් සමග මිනාබ් නගරයේ පාසලකට ද ප්‍රහාරයක් එල්ල විය.
ටෙහෙරානයේ "ඉන්ධන ගබඩා සංකීර්ණ කිහිපයකට" පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) තහවුරු කර තිබෙනවා.
ඒත් සමග නගරයයේ සිට දැවැන්ත ගිනිදැල් ඉහළට නැගෙන අයුරු දක්නට ලැබුණා.
එය ඉරාන පාලන තන්ත්‍රය "හමුදා යටිතල පහසුකම් සක්‍රීයව පවත්වා ගැනීම සඳහා ඍජුව සහ නිතර භාවිත කරන" ඉන්ධන ටැංකිවලට එරෙහිව එල්ල වූ "ප්‍රබල ප්‍රහාරයක්" බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.
ගල්ෆ් රටවල් අවට...
"පළමුව ප්‍රහාර එල්ල නොකරන තුරු" ටෙහෙරානය ප්‍රහාර එල්ල නොකරන බවට ඉරාන ජනාධිපති මසූද් පෙසෙක්ෂියන් ගල්ෆ් රාජ්‍යයන්ට පොරොන්දු වීමෙන් පසුව ද කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දවස පුරා ඩ්‍රෝන ප්‍රහාර වාර්තා වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහෙයාන් පවසන්නේ තම රට "යුද්ධමය තත්ත්වයක" පවතින නමුත් ඔවුන් "පහසු ගොදුරක් නොවන" බවයි.
ඉරානයේ...
ටෙහෙරානයේ මෙහ්රාබාද් ගුවන්තොටුපළේ ගුවන් යානා රැසකට හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ රාත්‍රියේ ගුවන් යානා 16කට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවයි.
යුද්ධය නොනවත්වා ඉදිරියට ඇදෙන අවස්ථාවක පැය 24ක් ඇතුළත නව උත්තරීතර නායකයෙකු තෝරා ගත හැකි බවට වාර්තා වෙනවා.
ලෙබනනයේ...
හිස්බුල්ලා සටන්කරුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිය ගොඩබිම් සහ ගුවන් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර පුද්ගලයින් 294 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරනවා. තවත් 1,023 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඔවුන් පැවසුවා.
ලෙබනනයට එල්ල වන ප්‍රහාර මන්දගාමී වන බවට ඇති ලකුණු නොමැති තරම් ය. හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කර ගන්නා අතරතුර බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව අද අනතුරු ඇඟවූවා.
එක්සත් රාජධානියේ...
එක්සත් රාජධානියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකෙන් එකක් වන HMS ප්‍රින්ස් ඔෆ් වේල්ස් යාත්‍රා කිරීමට සූදානම් කරමින් පවතින අතර, එය බ්‍රිතාන්‍ය ලබැඳියාවන් ආරක්ෂා කිරීම සඳහා මැද පෙරදිගට යවන්නේ ද යන සැකය මතු කරනවා.
ගැටුම ආරම්භ වී දින තුනක් ඇතුළත එක්සත් ජනපදය "ඉරාන නාවික හමුදා නැව් 42ක් විනාශ කළ" බව ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කිරීමෙන් පසු, එක්සත් ජනපද B-1 බෝම්බ හෙළන ජෙට් යානා පහක් RAF ෆෙයාර්ෆර්ඩ් වෙත ගොඩබසිනු දක්නට ලැබුණා.
"ගැටුම් උග්‍ර වීම අවම කර ගැනීමට තිබුණු ඉරානයේ සූදානම" ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "එහි ආරම්භයේදී ම විනාශ කර දැමූ බවට" ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
අද උදෑසන ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් අරග්චි පවසන්නේ ට්‍රම්ප් ඉරානයේ "හැකියාවන්, අධිෂ්ඨානය සහ අභිප්‍රාය" වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා සම්බන්ධයෙන් ඉදිරි පැය 24 තුළ තීරණයක් ගනු ඇතැයි තමාට "දැඩි විශ්වාසයක්" ඇතැයි උත්තරීතර නායකයා තෝරා ගන්නා මණ්ඩලයේ සාමාජිකයෙකු පවසන බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.
නව නායකයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව සිදුවන බවත් කටකතාවලට නොරැවටෙන ලෙසත් එම විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයෙකු වන හොසේන් මොසාෆාරි, මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ෆාර්ස් වාර්තා කරනවා.
ඉරානයට 'ඉතා දැඩි ලෙස පහර දෙන' බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ Truth social වේදිකාවේ සටහන් කොට තිබෙනවා.
ඉරාන ජනාධිපතිවරයා මීට පෙර කළ අදහස් ගැන පැහැදිලිවම සඳහන් කරමින්, ට්‍රම්ප් පවසන්නේ ඉරානය "සමාව අයැද සිට තම මැද පෙරදිග අසල්වැසියන්ට යටත් වී ඇති අතර, තවදුරටත් ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇති" බවයි.
"මෙම පොරොන්දුව ලබා දුන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායල කළ දැඩි ප්‍රහාර නිසා පමණක්" බව ඔහු පවසනවා.
කෙසේ නමුත් ඉරානය තම අසල්වැසියන්ට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කර නැත.
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී අතර කටාර් පවසන්නේ තමන් එල්ල වූ මිසයිලයක් උඩු ගුවනේදී විනාශ කළ බවයි.
ට්‍රම්ප්ගේ සටහනේ අවසානයේ ඔහු සඳහන් කර ඇත්තේ "අද ඉරානයට ඉතා දැඩි ලෙස පහර දෙනු ඇති !" බවයි.
"සම්පූර්ණ විනාශයක් සහ නිශ්චිත මරණයක් සඳහා බරපතල සලකා බැලීමක් යටතේ", "මීට පෙර ඉලක්ක ගත නොවූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම් ද ඇතුළුව" ප්‍රහාර එල්ල කෙරෙන බව එයින් වැඩිදුරටත් පවසා තිබෙනවා.
"අර්ධ වශයෙන් මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති" බව ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවසනවා.
ගුවන් යානා කිහිපයක් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටතට තම ගුවන් ගමන් ආරම්භ කර ඇති බව ඔවුන් සඳහන් කළා.
අද උදෑසන සේවා අත්හිටුවීමට ගත් තීරණයෙන් පසුව නව තීරණය ගෙන තිබෙනවා.
"කාලසටහන් වෙනස් වෙමින් පවතින බැවින්, ගුවන් සමාගම ඔබගේ ගුවන් ගමන තහවුරු කර නැති නම්, කරුණාකර ගුවන් තොටුපළට ගමන් නොකරන්න," එහි වැඩිදුරටත් සඳහන් වුණා.
ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වීඩියෝ පණිවිඩයක් විකාශය කර තිබෙනවා.
"ප්‍රහාරයට ලක් වූ අසල්වැසි රටවලින් සමාව අයැදීම අවශ්‍ය යැයි කියා මම සිතනවා," ඔහු පවසයි.
"අපි අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීමට අදහස් කරන්නේ නැහැ," යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කරන අතර "සාමය ස්ථාපනය කිරීම" සඳහා කලාපීය රටවලට සහය වන ලෙස ඉල්ලා සිටිනවා.
"මෙතැන් සිට, පළමුව ප්‍රහාර එල්ල කිරීමක් සිදුවුවහොත් ඇරෙන්න, අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල නොකරන්න," යනුවෙන් සන්නද්ධ හමුදාවන්ට නායකත්වය නියෝගයක් නිකුත් කර ඇති බව පෙසෙෂ්කියාන් තවදුරටත් පවසනවා.
"ඉරානයට පහර දීමට මේ මොහොතේ වාසි ලබා ගැනීමට සිතා සිටින අය අධිරාජ්‍යවාදයේ රූකඩ බවට පත් නොවිය යුතුයි," ජනාධිපතිවරයා පවසන අතර, ඊශ්‍රායලයට හෝ එක්සත් ජනපදයට සහය දීම "ගෞරවය සහ නිදහස සඳහා මාවතක් නොවන" බව ද සඳහන් කරනවා.
ඉරානයේ කාර්යබහුල ම ගුවන් තොටුපළ සහ දේශීය ගුවන් ගමන් ප්‍රධාන වශයෙන් සිදුවන මෙහ්රාබාද් ගුවන් තොටුපළේ ගුවන් යානයක් ගිනි ගන්නා අයුරු සහ විශාල දුම් වළා ගුවනට නැගෙන ආකාරය ඇසින් දුටුවන් විසින් සමාජ මාධ්‍යවල සටහන් තබා තිබෙනවා.
"කොන්දේසි විරහිත යටත් වීමක් හැර ඉරානය සමග කිසිදු ගනුදෙනුවක් සිදු නොවන" බව ඇමෙ රිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Socialහි සටහනක් තම්බමින් ට්‍රම්ප් මෙසේ තවදුරටත් පවසයි: “ඊට පස්සේ, සහ ශ්‍රේෂ්ඨ සහ පිළිගත හැකි නායකයෙකු (නායකයින්) තෝරා ගැනීමෙන් පසු, අපි සහ අපගේ අපූරු හා ඉතා නිර්භීත සගයන් සහ හවුල්කරුවන් බොහෝ දෙනෙක් ඉරානය විනාශයේ අද්දර සිට ආපසු ගෙන ඒමට වෙහෙස නොබලා කටයුතු කරන්නෙමු, එය ආර්ථික වශයෙන් වෙන කවරදාටත් වඩා විශාල, වඩා හොඳ සහ ශක්තිමත් කරන්නෙමු. එහි අවසානයේ මෙලෙස සටහන් කර තිබිණි. "IRAN WILL HAVE A GREAT FUTURE. 'MAKE IRAN GREAT AGAIN (MIGA!).'"
මැදපෙරදිග යුද්ධය සම්බන්ධ තොරතුරු ඔබ වෙත යළිත් සජීවීව ගෙන ඒමට අප සූදානම්...
ඉරානයට එරෙහි ඇමෙරිකා - ඊශ්‍රායල් යුද්ධය පිළිබඳ නවතම තොරතුරු සමග විරාමයකින් අනතුරුව හමුවෙමු.
රැඳී සිටින්න අපත් සමගින්...