ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

මුදාගත් ඉරාන නාවිකයින්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට මසක සහන වීසා කාලයක්

මානුෂිකත්වය පදනම් කරගනිමින් ජාත්‍යන්තර නීති රීති අනුව කටයුතු කරමින් මුදවා ගනු ලැබූ ඉරාන නාවික කණ්ඩායමට මසක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

සාරාංශය

  • "එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ අදාළත්වය අවසන් වී ඇත. දැන් එළැඹී ඇත්තේ ජිනීවා සම්මුතීන්හි අදාළත්වය ක්‍රියාත්මක වන කාලයයි" - නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ
  • IRIS DENA නාවිකයින් 32ගෙන් 22 දෙදෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට
  • හික්කඩුව නාරිගම වෙරළට ඉරාන නෞකාවේ බවට සැක කෙරෙන භාණ්ඩ ගොඩගසයි.
  • 'ගිලුණු නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩලය සහ දිවි ගලවා ගත් පිරිස් ආපසු ඉරානය වෙත නොයවන්නැයි ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්' - වාර්තා
  • IRIS Bushehr නෞකාවේ සිට කොළඹ වරයාට රැගෙන ආ 204 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන යයි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. සජීව පිටුවේ නිමාව...

    මෙම සජීව පිටුව ඔස්සේ තොරතුරු ගෙන ඒම මෙතෙකින් නිමාවට පත් කරන අතර අප සමග රැඳී සිටි ඔබට ස්තූතියි!

  2. මුදාගත් ඉරාන නාවිකයින්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට මසක සහන වීසා කාලයක්

    මානුෂිකත්වය පදනම් කරගනිමින් ජාත්‍යන්තර නීති රීති අනුව කටයුතු කරමින් මුදවා ගනු ලැබූ ඉරාන නාවික කණ්ඩායමට මසක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

    “මේ මුදාගත් පිරිස සඳහා මාසයක පමණ Free VISA එකක් නැත්නම් සහන වීසා එකක් ලබා දීලා ඔවුන් මේ රට තුළ රඳවා ගෙන, ඔවුන්ට මේ රටෙන් පිටත් වෙන්න යම් කාලයක් ගතවේවි, ඒ කාලය පුරාම ඔවුන්ට මානුෂික අයුරින් රැකබලා ගැනීම කරනවා. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර දීම සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සියල්ල කරනවා. ඉදිරියටත් ඒ ආකාරයෙන් සිද්ධ කරනවා.

    මහජන ආරක්ෂ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

    “අපි කිසිදු පාර්ශවයකට බැඳියාවක් සහිතව නෙමෙයි මේ කටයුතු කරන්නේ, කිසිදු පාර්ශවයකට වාසි සැලසීම හෝ අගතියකට පත් කිරීමට හෝ පීඩාවට පත් කිරීමේ අරමුණින් නෙමෙයි අපි මේක කරන්නේ, අපි ජාත්‍යන්තර සම්මූතීන් අනුව අපි බැඳිලා ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සම්මුතීන් තියෙනවා. නාවික හමුදා නීති රීති තියෙනවා. ඒ සම්මුතීන් අනුව කටයුතු කරලා තියෙනවා. ඒක ලෝකේ ප්‍රසාදයට පත් වෙලා තියෙනවා. සියලු පාර්ශවවල. ඒ හින්දා අපිට කිසිදු බාධාවක් ඇති වෙලා නැහැ. ඉදිරියටත් මේ කටයුතු ඒ ආකාරයෙන්ම තීන්දු තීරණ ගන්නවා.” අමාත්‍යවරයා සඳහන් කළා.

  3. ශ්‍රී ලංකාව භාරයේ සිටින ඉරාන ජාතිකයින් නිදහස් කළ හැකි ද?, "එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ (UNCLOS) අදාළත්වය අවසන් වී ඇත. දැන් එළැඹී ඇත්තේ ජිනීවා සම්මුතීන්හි අදාළත්වය ක්‍රියාත්මක වන කාලයයි"

    එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය මූලික වශයෙන් සාගර හා නාවුක කටයුතු පිළිබඳව සිය අවධානය යොමු කරනු ලැබුව ද, අන්තර්ජාතික සන්නද්ධ ගැටුමකදී කිසියම් නිශ්ක්‍රිය පාර්ශවයක් භාරයට පත්වන සටන්කාමී පාර්ශවයකට අයත් තැනැත්තන් සම්බන්ධයෙන් අදාළ වන්නේ ජිනීවා සම්මුතීන් ය.

    අන්තර්ජාතික සන්නද්ධ ගැටුමකදී, තමන් භාරයට ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නිශ්ක්‍රිය සහ සටන්කාමී නොවන පාර්ශවයන්ට පවා අන්තර්ජාතික නීතිය යටතේ වගකීම් පවතී.

    මේ අනුව, 1949 දෙවන ජිනීවා සම්මුතියේ 5 වන ව්‍යවස්ථාව අනුව, තම භූමිය තුළ සිටින සටනක් අතරතුර තුවාල ලැබූ, රෝගී සහ නැව්බත්වීමෙන් අනතුරට පත් වූ පුද්ගලයන් සඳහා එම සම්මුතියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නිශ්ක්‍රිය රාජ්‍යයක් බැඳී සිටී.

    මෙම පුද්ගලයන්ගේ යහපත උදෙසා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට නිශ්ක්‍රීය රාජ්‍යයකට බලය හිමිවන වෙනත් නීතිමය රාමුවලට අගතියක් නොවන පරිදි මෙම බැඳීම අදාළ වේ.

    ඒ අනුව, අනතුරට පත් ඉරාන නෞකාවේ සිට බේරාගත් නාවිකයන්ට සහ දෙවන ඉරාන නෞකාවේ සිට ශ්‍රී ලංකාව භාරයට ගත් සියලු ම නාවිකයන් වෙත අන්තර්ජාතික මානුෂවාදී නීතියේ පූර්ණ ආරක්ෂාව හිමි වනු ඇත.

    තව ද, මෙම පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය 1949 තෙවන ජිනීවා සම්මුතියේ විෂය පථය යටතේ පාලනය වන අතර, එම සම්මුතියේ 4(ආ)2 ව්‍යවස්ථාව යටතේ, නිශ්ක්‍රිය හෝ සටන්කාමී නොවන රාජ්‍යයක් විසින් භාරගනු ලබන තවදුරටත් සටන්වැදිය නොහැකි වූ (out-of-combat) තැනැත්තන් අන්තර්ජාතික නීතිය යටතේ රඳවා තබා (intern) ගත යුතු ය. [මෙම කාරණය 1907 පස්වන හේග් සම්මුතියේ 11(1) ව්‍යවස්ථාව මගින් ද තවදුරටත් තහවුරු කෙරෙන අතර; එම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ සටන්කාමී හමුදාවන්ට අයත් සේනාංක තම භූමිය තුළට භාරගන්නා නිශ්ක්‍රිය රාජ්‍යයක්, හැකි තාක් දුරට යුධ භූමියෙන් බැහැරව ඔවුන් රඳවා තබා ගත යුතු බවයි.]

    ඒ අනුව, මෙම තැනැත්තක් තම භාරයේ රඳවා තබා ගැනීමෙන්, සටන්කාමී හමුදාවක සාමාජිකයන් ලෙස ඔවුන් නැවතත් සටන් චක්‍රය වෙත එක්වීම වැළැක්වීමේ වගකීම නිශ්ක්‍රිය රාජ්‍යය විසින් ඉටු කරනු ලබයි.

    මෙම රැඳවියන් තාක්ෂණික වශයෙන් "යුධ සිරකරුවන්" (PoWs) ලෙස වර්ගීකරණය නොකළ ද, තෙවන ජිනීවා සම්මුතිය යටතේ ඔවුන් යුධ සිරකරුවන්ට හිමිවන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලැබීමට සුදුසුකම් ලබයි.

    තෙවන ජිනීවා සම්මුතියේ 118 වන ව්‍යවස්ථාව අනුව, මෙම තැනැත්තන් නැවත සන්නද්ධ ගැටුමට අවතීර්ණ වීම වැළැක්වීමේ වගකීමක් නිශ්ක්‍රිය රාජ්‍යය සතු ය; එබැවින් සක්‍රීය සන්නද්ධ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් වන තෙක් ඔවුන් නිදහස් කරන ලෙස කිසිදු පාර්ශවයකට නීත්‍යනුකූලව ඉල්ලා සිටීමට හෝ ඒ වෙනුවෙන් සාකච්ඡා කිරීමට නොහැකි ය.

    මෙලෙස ක්‍රියා කිරීමෙන් නිශ්ක්‍රිය රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා වන අතර, එම භූමිය සටන්කාමී පාර්ශවයක හමුදා නැවත ප්‍රතිසංවිධානය කරන රැකවරණ ස්ථානයක් ලෙස භාවිත කිරීම ද ඉන් අවහිර වේ."

    - කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය සහ නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ

  4. IRIS DENA නාවිකයින් 32ගෙන් 22 දෙදෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට

    IRIS DENA ඉරාන නෞකාවේ සිට නාවික හමුදාව මගින් මුදාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි නාවිකයින් 32 දෙදෙනාගෙන් 22 දෙදෙනෙකු සුවය ලබා නාවික හමුදාවේ සහ පොලිස් ආරක්ෂාව යටතේ වැලිසර නාවික හමුදා කඳවුර වෙත සෙනසුරාදා (මාර්තු 7) රාත්‍රියේ රැගෙන ගොස් තිබෙනවා.

    මෙලෙස රැගෙන ගිය පිරිස අතර එම නෞකාවේ කපිතාන්වරයා ද සිටින බවට වාර්තා වන්නේ යැයි අප වර්තාකරු සඳහන් කළා.

    අනෙක් නාවිකයින් 10 දෙනා තවදුරටත් ගාල්ල ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

  5. ඉරාන ජාතිකයින් ගැන කටයුතු කළේ 'ජාත්‍යන්තර නීතිවලට අනුව, මානුෂීය ආකාරයෙන්' - අමාත්‍ය විජිත හේරත්

    ශ්‍රී ලංකා රජය භාරයේ සිටින ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, නවදිල්ලි නුවර පැවැත්වෙන 'රයිසිනා සංවාදයේදී' යොමු කෙරුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

    මෙම ඉරාන ජාතිකයින් නැවත ඉරානය වෙත යවනවා ද? නැතිනම් ඔවුන් භාර දෙන ලෙස හෝ තම රට අත් හැරීමට ඔවුන් දිරිමත් කරන ලෙස එක්සත් ජනපදයෙන් පීඩනයක් එල්ල වන්නේ ද? යන්න සම්බන්ධයෙන් ඔහුගෙන් එහිදී ප්‍රශ්න කෙරුණා.

    ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය අනුව කටයුතු කරන බවත් මෙම සිදුවීමේදී පවා ඒ අනුව ක්‍රියා කර ඇති බවත් ය.

    මේ දක්වා ගෙන ඇති සියලු පියවර ගෙන ඇත්තේ ද ජාත්‍යන්තර නීතිය අනුව බව ඔහු පැවසුවා.

    එමෙන් ම, ශ්‍රී ලංකාව කිසිදු පාර්ශවයකට සහය නොදක්වන බවත් මානුෂීය ආකාරයෙන් පියවර ගෙන ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවා.

    මෙම සංවාදයට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ද සහභාගී වී සිටියා.

  6. වීඩියෝ : ශ්‍රී ලංකා නාවික හමුදාව IRIS Bushehr ඉරාන නෞකාවේ සිටි පිරිස් ආරක්ෂිතව මුදාගත් අයුරු

    IRIS Bushehr නමැති ඉරාන නෞකාවේ සිටින පිරිස අතරින් 204 දෙනෙකු මාර්තු 6 වන දා කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව මීට ඉහත දී බීබීසී සිංහල වෙත පැවසුවා.

    දැන් එහි වීඩියෝ දර්ශන අප වෙත වෙත ලැබී තිබෙනවා.

    මීට පෙර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර, ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර වෙත රැගෙන යන බවයි.

    මෙම නෞකාවේ 208 දෙනෙකු සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

  7. හික්කඩුව නාරිගම වෙරළට ඉරාන නෞකාවේ බවට සැක කෙරෙන භාණ්ඩ ගොඩගසයි

    ගාල්ල ආසන්න මුහුදේදී පසුගිය දා "ප්‍රහාරයට" ලක් වූ ඉරාන නෞකාවේ බවට සැක කෙරෙන භාණ්ඩ කිහිපයක් හික්කඩුව නාරිගම වෙරළ තීරයට ගොඩගසා තිබියදී සෙනසුරාදා උදෑසන හමුවී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

    ඔහු සඳහන් කළේ, හික්කඩුව සීනිගම අවට වෙරළ තීරයේ මේ වන "ඩීසල්" පැල්ලම් ද විශාල ලෙස දැකිය හැකි බවයි.

    කෙසේ වෙතත්, එම ද්‍රව්‍යය කුමක් ද ඒවා කොපමණ ප්‍රමාණයක් තිබේ ද යන්න සම්බන්ධයෙන් සහ ඉන් සමුද්‍රීය හානියක් සිදුවී තිබේ යන්න පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය වෙත දැනුම් දුන් බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැවසුවා.

  8. 'ගිලුණු නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩලය සහ දිවි ගලවා ගත් පිරිස් ආපසු ඉරානය වෙත නොයවන්නැයි අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්' - වාර්තා

    ඉන්දියන් සාගරයේදී ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ වී ගිලී ගිය ඉරාන යුද්ධ නෞකාවේ සිට දිවි ගලවා ගත් පිරිස මෙන් ම ශ්‍රී ලංකා භාරයේ පසුවන දෙවන ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය ආපසු ඉරානයට නොයවන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව සිකුරාදා අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු රහස්‍ය පණිවුඩයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

    මාර්තු 6 දිනැති මෙම රහස්‍ය පණිවුඩය මගින්, ඉරාන කාර්ය මණ්ඩලය සහ දිවි ගලවා ගත් පිරිස ඉරානයට ආපසු නොයැවිය යුතු බවට ශ්‍රී ලංකාවේ වැඩබලන එක්සත් ජනපද තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට පැවසූ බව පෙනී යන්නේ යැයි එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    "මෙම පිරිස ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා උත්සහයන් අවම කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතුයි," යනුවෙන් එහි සඳහන් වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

  9. IRIS Lavan: 'ඉරාන යුද්ධ නෞකාවකට' කොචි වරායට ඇතුළු වීමට 'ඉන්දියාව අවසර දෙයි'

    2026 ජාත්‍යන්තර නාවික බලඇණි සමාලෝචනයට (IFR) සහභාගී වූ ඉරාන ඉස්ලාමීය ජනරජයට අයත් නෞකාවක් වන IRIS Lavan, තාක්ෂණික ගැටලු මතුවීම හේතුවෙන් කොචිහි නැංගුරම් ලා ඇති බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ANI පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

    ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි මුහුදේදී IRIS Dena නෞකාව මුහුණ දුන් සිද්ධියට දින කිහිපයකට පෙර ඉරානය ඉන්දියාව සමග සන්නිවේදනය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙනවා.

    පෙබරවාරි 15 ​​සිට පෙබරවාරි 25 දක්වා පැවති ජාත්‍යන්තර නාවික බලඇණි සමාලෝචනය සහ MILAN 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමට ඉරාන නෞකා සමග මෙම නෞකාව ද කලාපය වෙත පැමිණ තිබෙනවා.

    ANI තවදුරටත් වාර්තා කරන්නේ, තාක්ෂණික ගැටලු හේතුවෙන් නෞකාවට හැකි ඉක්මනින් වරාය වෙත ඇතුළු වීමට අවසර දෙන ලෙසට පෙබරවාරි 28 වන දා ඉරානය ඉල්ලීමක් කර ඇති බවයි.

    ඒ අනුව, මාර්තු 1 වන දින ඉන්දියාව ඒ සඳහා අවසර ලබා දී තිබෙනවා.

    ආරංචි මාර්ගවලට අනුව, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 183 දෙනෙකු දැනට කොචිහි නාවික පහසුකම්වල රැඳී සිටින බව ANI වාර්තා කළා.

  10. සුබ උදෑසනක්!

    ඉරාන නෞකා සහ නවතම තත්ත්වයන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න...

  11. ඉරාන විදේශ ඇමතිගෙන් ශ්‍රී ලංකාවට අගැයීමක්

    ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි, ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් සමග දුරකතන සංවාද පැවැත්වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරන ලද හමුදා ප්‍රහාරවලින් පසු කලාපීය වර්ධනයන් මෙන් ම ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය Xහි නිවේදනයක් පළ කරමින් සඳහන් කර තිබේ.

    දුරකතන සංවාද අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා මෑත දිනවල ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ‍ විසින් ඉරානයට එරෙහි ඔවුන්ගේ ප්‍රහාර පිළිබදව ද විස්තර කර ඇත.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ‘සාපරාධී ක්‍රියාවන්’ දැඩි ලෙස හෙළා දැකීමට සියලු ම රජයන්ගේ සහ එක්සත් ජාතීන්ගේ වගකීම ඔහු එහිදී අවධාරණය කළ බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ඉරාන වෙරළේ සිට සැතපුම් 2,000ක් පමණ දුරින් ජාත්‍යන්තර මුහුදේදී ඉරාන නාවික නෞකාවක් වන IRIS Dena ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරය ද ඔහු දැඩි ලෙස හෙළා දුටු අතර, අදාළ ජාත්‍යන්තර ආයතනවල උපකාරය ඇතිව එම අපරාධයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අවධාරණය කළේ ය.

    මේ අතර ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි නාවිකයින් ගලවා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකාව දැරූ උත්සාහය අගය කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, ඉරාන යාත්‍රාවල ආරක්ෂාව සහ එහි කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම සහතික කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය.

  12. IRIS Bushehr නෞකාවේ ඡායාරූප නිකුත් වෙයි

    IRIS Bushehr නෞකාවේ සහ එහි සිටි පිරිස් කොළඹ වරායේදී පරීක්ෂා කරන ආකාරය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාජනය කර අයුරු දැක්වෙන ඡායාරූප අප වෙත වෙත ලැබී තිබෙනවා.

  13. ඉරාන නාවිකයින් 5 දෙනෙක් ගාල්ල ජාතික රෝහලෙන් පිටව යති

    ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉරාන නාවිකයින් 32 දෙදෙනාගෙන් සුව ලැබූ පස් දෙනක් සිකුරාදා දහවල් රෝහලෙන් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

    අනෙක් 27 දෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් ද කිහිප දෙනෙකු මාර්තු 7 දිනය වන විට මුදා හැරීමට හැකි වෙතැයි අපේක්ෂා කරණ බව ද රෝහල් ප්‍රකාශකයා පැවසුවා.

    රෝහලෙන් පිටව ගිය නාවිකයින් පස් දෙනා ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් වැලිසර නාවික හමුදා රෝහල වෙත ගෙන යාමට නියමිතව තිබෙනවා.

  14. IRIS Dena නෞකාවේ සිටි පිරිස මුදාගත් අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන

    මාර්තු 4 වන දා IRIS Dena නෞකාවේ සිටි පිරිස මුදාගත් අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා.

  15. IRIS Dena නෞකාවේ සිටි පිරිස මුදාගත් අයුරු

    මාර්තු 4 වන දා IRIS Dena නෞකාවේ සිටි පිරිස මුදාගත් අයුරු දැක්වෙන ඡායාරූප බීබීසී සිංහල වෙත ලැබී තිබෙනවා.

    නෞකාවේ සිටි 32 දෙනෙකු එලෙස මුදා ගත් අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

    එහි 180 දෙනෙකු පමණ සිටි බවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසූ අතර අතුරුදන්ව සිටි 84 දෙනෙකුගේ මළ සිරුරු පසුව සොයා ගැනුණා.

    එම මළ සිරුරු ගාල්ල ජාතික රෝහල වෙත ගෙන ගිය අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා.

  16. IRIS Bushehr නෞකාවේ සිට කොළඹ වරයාට රැගෙන ආ 204 දෙනා වැලිසරට

    IRIS Bushehr නෞකාවේ සිට කොළඹ වරායට රැගෙන ආ පුද්ගලයින් 204 දෙනා මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර වෙත ගෙනැවිත් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල වෙත පැවසුවා.

  17. ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

    ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන නෞකාවකට පහර දීම හා ඉරානයට පහර දීම හෙළා දකිමින් අද පිරිසක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

  18. Breaking, IRIS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට

    IRIS Bushehr නමැති ඉරාන නෞකාවේ සිටින පිරිස අතරින් 204 දෙනෙකු කොළඹ වරායට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව බීබීසී සිංහල වෙත පැවසුවා.

    බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර, ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

    මෙම නෞකාවේ 208 දෙනෙකු සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

  19. ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී දැක් වූ සම්පූර්ණ අදහස්

    "විශේෂයෙන්ම මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීමයි.

    ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අපි විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග, කරනු ලැබු ප්‍රකාශ මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තිබෙනවා. ඒ අනුව තමයි ඉරානයේ නෞකා දෙකක් පිළිබඳ මේ ප්‍රශ්නය මතු වී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවයයි. ඒ වගේම අපි ජාතියක් ලෙස, රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය අංක එකට තබනවා. අපි මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයක් පවත්වා ගත යුතු හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිය තුළ කටයුතු කරනවා.

    පසුගිය 26 වන දා ඉරානය විසින් නාවික යාත්‍රා 03ක් මාර්තු 09 සිට 13 දක්වා දින 04 තුළදී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අපේ වරායට ප්‍රවිශ්ට වීම සඳහා අවසර ඉල්ලා සිටියා. එය හැඳින්වූයේ සහයෝගීතාව වර්ධනය කරන සංචාරයක් කියලා. අපි සොයා බලන විට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ, ඉන් ඔබ්බෙන් තමයි රැඳි සිටියේ. ඔබ කවුරුත් දන්නවා සහයෝගීතා සංචාරයක් ඒ අන්දමින් සිදු වන්නේ නැහැ. ඒකට අවශ්‍ය විශාල ක්‍රියාපරිපාටි තිබෙනවා. ඒ නිසා අපි එම ක්‍රියාපරිපාටි අධ්‍යයනය කරමින් සිටියා, ඒ අතරතුර 27 වන දා අපිට වාර්තා කළා අද දින අපේ භාරයට අරන් තිබෙන නෞකාවේ එක් නාවිකයෙකු යම් ආපදාවකට ලක් වී තිබෙන බව. ඒ නිසා අපෙන් ඉල්ලා සිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානුෂික අවශ්‍යතා සඳහා ගොඩබිමට රැගෙන එන ලෙස. ඒ අනුව, අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වී ආබාධයට ලක් වූ කෙනා සහ ඔහුට රැකවරණය දෙන නිලධාරියා යන දෙදෙනාම ගොඩබිමට ගෙනැවිත් අවශ්‍ය වෛද්‍ය කටයුතු සඳහා යොමු කළා.

    මේ අතරතුර, මාර්තු 04 වන දා අලුයම 5 පසු වී විනාඩි 08 සහ විනාඩි 30 අතර කාලය තුළ අපේ ජල තීරයෙන් ඔබ්බෙන්, ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණා. ඒ අනුව ආපේ නාවික හමුදාව සහ විශේෂයෙන් ගුවන් හමුදාව විශාල මෙහෙයුමක නිරත වුණා. එම මෙහෙයුමේදී අපි මධ්‍යස්ථයි වගේම මානවවාදි බව කිව යුතුයි. ඒ අනුව, අපේ හමුදාව ක්ෂණිකව මැදිහත් වීමෙන් පුද්ගලයන් 32ක් මුදවා ගැනීමේ හැකියාව ලැබුණා. මළ සිරුරු 84ක්ද හමු වුණා. අපි මළ සිරුරු 84ත්, තුවාල ලැබූ පුද්ගලයන් තිස් දෙදෙනාත් ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    දෙවනුව, මෙම සාකච්ඡාවට බඳුන් වන IRIS Bushehr නෞකාව මාර්තු 04 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කළා මාර්තු 04 සහ 05 කියන දෙදින තුළ අපේ වරායට සේන්දු වීමට අවස්ථාව ලබා දෙන්න කියලා.

    අපි සාකච්ඡා කරමින් සිටියා කළ යුතු වන්නේ කුමක්ද කියලා, අපේ විදෙස් ඇමතිතුමා, ඉරාන විදෙස් ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම, තානාපති කාර්යාලය අපේ විදෙස් කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටියා.

    අනතුරුව, ඔවුන් දන්වා සිටියා ඔවුන්ගේ එක් එංජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. එහිදී අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියා. අපේ ජාතික ජල තීරය තුළ අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් එය නාවික යාත්‍රාවක්. යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්. ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්. මධ්‍යස්ථ රාජ්‍යයක් එවැනි නෞකාවක් පිළිබඳව කටයුතු කරන්නේ කවරාකාරයෙන්ද? ඒ සදහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය, 1907 හේග් සම්මුතිය. මේ ආදී සම්මුතිවලින් අපට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව හොඳින් තේරුම් ගත යුතුයි. මධ්‍යස්ථ රාජ්‍යයක්, එක් පාර්ශ්වයක නෞකාවක්, අපේ වරායන් සඳහා ඒමට කරන ඉල්ලීමක්. එය අප සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුවයි.

    එනිසා කලබලයට කළ හැකි දෙයක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව අප දෙපාර්ශ්වය අතර අවබෝධයකට පැමිණිය යුතුයි. අප දෙපාර්ශ්වය අතර එකගතාවකට ආ යුතුයි. එ’නිසා එම නෞකාවේ කපිතාන් සහ අපේ නාවික හමුදාවේ නිලධාරීන් සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාල සමඟ සාකච්ඡාවල නිරත වුණා. විශේෂයෙන්ම ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කරමින් මේ ක්‍රියාවලියට ප්‍රවිශ්ට වුණා. එම නිසා ඒ සාකච්ඡාවලින් අනතුරුව අපේ යෝජනාව වූයේ මෙම පිරිසත්, මෙම නෞකාවත් අපේ භාරයට ගැනීමට ලෑස්ති බවයි. ඒ සඳහා සාකච්ඡා කර ගත යුතු වන්නේ අප අතර ඇති එකඟතා සහ සම්මුතීන් පිළිබඳවයි. ඒ අනුව, නෞකාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහාත්, ඒ වගේම නෞකාව ස්ථානගත කරන්නේ කොතනද යන්න පිළිබදවත් පොදු එකඟතාවකට ආවා. කොළඹ වරාය ආසන්නයේ මෙම නෞකාව තිබුණත්, කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරායයි. එවැනි නෞකාවක් ප්‍රධාන වාණිජ වරාය තුළ රඳවා තබා ගැනීම අපේ නාවික කර්මාන්තයට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.

    එනිසා අපි තීරණය කළා එම නෞකාව කොළඹ වරායට රැගෙන එන්නේ නැතිව ත්‍රිකුණාමලය වරායට රැගෙන එනවා කියලා. හැබැයි, ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්න කලින්, එහි සිටින පිරිස අපි කොළඹ වරායට ළඟා කර ගන්න කැමතියි, ඒ අනුව අපේ නාවික යාත්‍රාව එම යාත්‍රාව සමීපයට ගොස් මේ වන විට ඔවුන් මුදවා ගැනීමේ කාර්යයේ නිරතව සිටිනවා. දැනට වාර්තා වී තිබෙන ආකාරයට 208 දෙනෙක් ගොඩබිමට රැගෙන ඒමට සූදානම් කර තිබෙනවා. ඒ අතර නිලධාරීන් 53 දෙනෙක් සිටිනවා. කැඩෙට් නිලධාරීන් 84ක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් සිටිනවා. මේ පිරිස අපේ නෞකාවෙන් අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව, එම නෞකාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ නාවිකයන් සමඟ ඒකාබද්ධව එම නෞකාවත් ත්‍රිකාණාමලය වරායට රැගෙන යෑමට අපි සැලසුම් කර තිබෙනවා. එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යෑමට අපි උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමෙන් පසුවයි. එනිසා අපි ඉතා පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයකට යටත් වීමට කටයුතු කරන්නේ නැහැ.

    අපි ස්වෛරී රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම අපිට රජයක් හැටියට අපේ මුහුද පිළිබදව වගකීමක් තිබෙනවා. අපේ රාජ්‍යය පිළිබඳව වගකීමක් තිබෙනවා. අපේ ජනතාව පිළිබඳව වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි. අපේ ජනතාව, අපේ මුහුදු තීරය මුළුමනින්ම අවදානමකට ලක් කර තීන්දු තීරණ ගත යුතු නැහැ. ඒ නිසා අපි තීන්දු තීරණ ගන්නේ අපේ ජනතාව සහ මාතෘ භූමිය ප්‍රමුඛතාවයේ තබාගෙනයි. එ’නිසා මොන අඬහැරයන් එළියේ තිබුණත්, මොන බලපෑම් තිබුණත් ඒ කිසිවකට අපි කලබල වන්නේ නැහැ.

    අපේ ස්ථාවරය බවට පත් වුණේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන, අපේ මානවවාදය ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයකින් මිය යා යුතුයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍යයක් විදිහට අපේ ප්‍රවේශය බවට පත් වන්නේ සෑම පුරවැසියෙකුගේම ජීවිතය තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීමයි. අපි මේ තීන්දු තිරණ ගත්තේ ඒ අනුවයි. මේ යුද්ධයේදී අපි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි ලෝකයේ සාමය වෙනුවෙන් හැම කෙනාගේම කැපවීම මේ අවස්ථාවේ අවශ්‍යයි. සාමය වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි. මිනිසුන් මිය යනවා, විශාල ආර්ථික කුණාටුවකට හඹා යෑමේ අනතුරක් තිබෙනවා. යුද්ධය නිසා මුළු සමාජ දේහයේ යම් ගැටලුකාරි තත්ත්වයක් මතු වීමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. එ’නිසා අද ලෝකයට ක්ෂණිකව අවශ්‍ය වී තිබෙන්නේ සාමය. එ’නිසා අපි සියලු පාර්ශ්වයන්ගෙන් සාමය වෙනුවෙන් කැපවීම පෙන්නුම් කරන ලෙසට ඉල්ලා සිටිනවා. එහිදී ගන්නා සෑම පියවරකටම රාජ්‍යයක් ලෙස අපේ සහාය ලබා දෙන්න ලෑස්තියි. අප මේ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුවයි. මා දැක්කා, අද දවස පුරාම ඉතාම අසත්‍ය, අතාර්කික කරුණු, ඇතැම් ඒවා චෝදනා මුඛයෙන්, ඇතැම් ඒවා විවේචනාත්මකව සහ බිය වැද්ද වීම වැනි විශාල සාකච්ඡාවක් තිබුණා. ඒ සියල්ල මධ්‍යයේ රජයක් වශයෙන් අපේ රටේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සම්මුතින්වලට අපේ කැපවීම පෙන්නුම් කරන අන්දමින් අපේ මැදිහත් වීම කරනු ලැබුවා. ඒ මැදිහත් වීම අපි දැන් සිදු කරමින් සිටිනවා. රාජ්‍යයක් විදිහට අපි ගත යුතු ඉතාමත් නිර්භීත මෙන්ම මානවවාදී ක්‍රියාමාර්ගය එය බව අපි විශ්වාස කරනවා."

    ජනාධිපති මාධ්‍ය අංශය

  20. IRIS Bushehr ඉරාන නෞකාවේ සිටින පිරිස් මුදා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව ජනපති කියයි

    IRIS Bushehr ඉරාන නෞකාව කොළඹ වරායට ආසන්නයෙන්, මෙරටට අනන්‍ය ආර්ථික කලාපයේ රැඳී සිටින බව ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා.

    ඔහු සඳහන් කළේ, එම නෞකාව ශ්‍රී ලංකා ජල තීරයට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බවයි. එහි සිටින පිරිස් මුදාගෙන ගොඩ බිමට ගෙන ඒම ආරම්භ කළ බව ද ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා.

    අදාළ නෞකාවේ කපිතාන්වරයා, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය අතර සිදුවූ සාකච්ඡාවලින් අනතුරුව එම පිරිස මුදා ගැනීමට තීන්දු කළ බව ඔහු පැවසුවා.

    "ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම නැව සමීපයට ගිහිල්ලා එම අය මුදා ගැනීමේ කාර්යයේ නිරත වෙමින් තිබෙනවා. දැනට අපිට වාර්තා වෙලා තියෙන විදිහට 208 දෙනෙක් ගොඩබිමට රැගෙන එන්න සූදානම් කරලා තියෙනවා.

    "එයින් නිලධාරීන් 53 දෙනෙක් ඉන්නවා, කැඩෙට් නිලධාරීන් 84 දෙනෙක් ඉන්නවා, ජ්‍යෙෂ්ඨ නාවිකයින් 48 දෙනෙක් ඉන්නවා, නාවිකයින් 23 දෙනෙක් ඉන්නවා.

    "මේ 208 එම නෞකාවෙන් අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට ගේන්න අපි දැන් කටයුතු ආරම්භ කරලා තියෙනවා.

    "ඒ වගේ ම ඉන් අනතුරුව එම නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල වරාය ආසන්නයට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසුවා.